ස්මිත්ගේ ශතකය ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

 

ලෝක කුසලාන එක්දින තරගාවලියට සමගාමිව රෝස් බෝල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පෙර පුහුණු තරගයකදී මෙවර සත්කාරකත්වය දරන එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක තියුණු ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 25 ) සමත් විය.

ලකුණු 298 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 285 ක් පමණි.

එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජේම්ස් වින්ස් පන්දු 76 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබාදුන් ජොස් බට්ලර් පන්දු 31 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 52 ක් රැස් කිරීමට සමත් වුවද සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට ඒමට අපොහොසත් වීම හේතුවෙන් තරගයේ වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතුවිය.

පන්දු යැවිමේදී ජේසන් බෙහෙරෙන්ඩෝෆ් ලකුණු 43 කට කඩුලු 2 ක් සහ කේන් රිචඩ්සන් ලකුණු 51 කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 297 ක් ලබා ගත්තේය.

වසරක තරග තහනමින් පසු පිටියට පිවිසි ස්ටිව් සිමිත් හා ඩේවිඩ් වෝනර් සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පිවිසීමට අද සමත් වූහ. එහිදි පන්දු 102 කින් සිය ශතකය ( 106 ) සම්පූර්ණ කිරීමට ස්ටිව් ස්මිත්සමත් වූයේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් තමන්ගේ ඉනිමට එක්කර ගනිමිනි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඩේවිඩ් වෝනර් පන්දු 55 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 43 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ලියාම් ප්ලන්කට් ලකුණු 69 කට කඩුලු 4 ක් ලබා ගත්තේය.

ඡායාරූපය – ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි. 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.