පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යොවුන් පිලට !

 

සංචාරක පාකිස්තාන වයස අවුරුදු  19 න් පහළ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 26 ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 26 ) සමත් විය. ඒ අනුව තරග 5 කින් යුත් එක්දින තරගාවලියේ තරග 1-0 කින් පෙරමුණු ගැනීමට ශ්‍රි ලංකාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 235 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි පාකිස්තාන යොවුන් කණ්ඩායමට පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 208 ක් පමණි.

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හයිදර් අලී මංගල ජාත්‍යන්තර තරගයේදීම අර්ධ ශතකයක් (51) වාර්ථා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සාහ කළද එයට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ. විශිෂ්ට පන්දු යැවීමට නිරත වූ සුධීර තිලකරත්න ලකුණු 48 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.  පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දක්ෂතා අතරට පැමිණි නවෝද් පරණවිතාන ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 234 ක් රැස් කළේය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කමිල් මිෂාර සහ නවෝද් පරණවිතාන ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. එහිදි කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් පන්දු 95 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 65 ක් රැස් කිරීමට සමත් විය. ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි නවොද් පරණවිතාන පන්දු 94 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ජුනෙයිඩ් ඛාන්, මොහොමඩ් වසීම් හා මොහොමඩ් ටහා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා පකිස්තාන යොවුන් කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගය මේ මස 28 වැනිදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතය.

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.