ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ අද (30) පැවැති ආරම්භක තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 104 විශිෂ්ට ජයක් ලැබීමට මෙවර සත්කාරකත්වය දරන එංගලන්ත කණ්ඩායම සමත් විය.
ලකුණු 312 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 39.5 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 207 ක් පමණි.
කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් සමගින් ඉනිම ඇරඹූ හෂිම් අම්ලාට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ජොෆ්රා ආචර්ගේ බවුන්සර් පන්දුව අම්ලා පිටියෙන් ඉවත් කිරීමට තරම් ප්‍රබල සාධකයන් විය. මේ හේතුවෙන් හෂිම් අම්ලා පිටියෙන් ඉවත්ව නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසයද ඔහුට රැස්කර ගතහැකි වූයේ ලකුණු 13 ක් පමණි. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ක්වින්ටන් ඩී කොක් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 68 ක් රැස් කිරීමට සමත් විය. පස්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි රසී වැන්ඩර් ඩුසේන් පන්දු 61 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් රැස්කර සිටියදි ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
මෙවර තරගාවලියේ කාගේත් අවධානය දිනු ජොෆ්රා ආචර් ආරම්භක තරයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 27 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් එංගලන්තයට සාර්තක ආරම්භයක් ලබාදුන්නේය. ඔහුට මනා සහයක් ලබාදුන් තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් හා ලියාම් ප්ලන්කට් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක දැවී ලකුණු 311 ක් රැස් කළේය.
ජේසන් රෝයි ( 54 ) , ජෝ රූට් ( 51 ) , ඔයින් මෝගන් (57 ) සහ ජොස් බට්ලර් ( 89 ) අර්ධ ශතක රැස්කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළහ. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල ජොස් බට්ලර් පන්දු 79 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 89 ක් රැස් කරමින් සිටියදී ලුන්ගි එන්ගිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ සිය ශතකය පෙනි පෙනීය.
පන්දු යැවීමේදී ලුන්ගි එන්ගිඩි ලකුණු 66 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර ඉම්රාන් තහීර් හා කගීසෝ රබාඩා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
එංගලන්තය – පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 311
(ජේසන් රෝයි 54, ජෝ රූට් 51, ඔයින් මෝගන් 57, ජොස් බට්ලර් 89, ලුන්ගි එන්ගිඩි 66/3,ඉම්රාන් තහීර් 61/2, කගීසෝ රබාඩා 66/2 )
දකුණු අප්‍රිකාව – පන්දුවාර 39.5 කදී සියලු දෙනා දැවී ලකුණු 207
( කිව්න්ටන් ඩි කොක් 68, රසී වැන්ඩර් ඩුසේන් 50, ඇන්ඩ්ල් ෆ්ලුක්වායෝ 24, ජොෆ්රා ආචර් 27/3, බෙන් ස්ටොක්ස් 12/2, සියාම් ප්ලන්කට් 37/2 )
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු srilankasports.com වෙතින් බලාපොරොත්ත්‍තු වන්න.
Be the first to comment