නුවන් ප්‍රදීප්ගේ හා ලසිත් මාලිංගගේ  විශිෂ්ට පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව පළමු ජය ලබති

නුවන් ප්‍රදීප්ගේ හා ලසිත් මාලිංගගේ  විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට එරෙහිව කාඩිෆ්හිදී අද ( 04 ) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 41 කදී  ලකුණු 187 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 32.4 කදී  සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 152 ක් පමණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ එකාපිට එකා දැවී යද්දී හුදකලා සටනක නිරත වූ නජිබුල්ලා සද්‍රාන් පන්දු 56 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 43 ක් රැස් කරමින් සිටියදී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට දමුත් කරැණාරත්න සමත් වූයේ තරගයේ සම්පූර්ණය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතුකර දෙමිනි.

ඇෆ්ගනිස්තාන මුල්පෙල පිතිකරුවන් 5 දෙනොම ලකුණු 57 ක් තුළදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ නුවන් ප්‍රදීප් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්ත්තුවක් ගෙන ආවද 6 වැනි කඩුල්ල සඳහා නැවතත් ක්‍රියාත්මක වූ  ගුල්බදීන් නයිබ් හා නජිමුල්ලා සද්‍රාන් පන්දු 67 කින් ලකුණු 64 ක් රැස් කරමින් නැවතත් තරගයේ වැඩි වාසිය ඇෆ්ගනිස්තානය වෙත නතු කළහ.

නුවන් ප්‍රදීප් විසින් ගුල්බදීන් නයිබ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමත්, දිමුත් කරැණාරත්න විසින් නජිමුල්ලා සද්‍රාන් දුවද්දී දැවී යාමට හසුකර ගැනීමත් සමග තරගයේ වැඩි වාසිය නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නතු විය.

නුවන් ප්‍රදීප් සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්ත කරමින් ලකුණු 31 කට කඩුලු 4 ක් බිඳ හෙලීය. ඔහුට අනගි සහයක් ලබාදුන් ලසිත් මාලිංග ලකුණු 39 කට කඩුලු 3 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සිය දායකත්වය ලබාදුන්නේය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 36.5 කදී සියලු දෙනාදැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 201 ක් පමණි.

නායක දිමුත් කරැණාරත්න සමගින් ඉනිම ඇරඹූ කුසල් ජනිත් පෙරේරා පළමු කඩුල්ල සදහා ලකුණු 92 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. එහෙත් මැදපෙළ පිතිකරුවන් යළිත් දියාරු පිතිහරඹයක නිරත වීම හේතුවෙන් යළිත් ශ්‍රි ලංකා ඉනිමේ කඩා වැටීම සිදුවිය.

කුසල් මෙන්ඩිස් ( 2) , ඇන්ජලෝ මැතිවුස් ( 0 ), ධනංජය ද සිල්වා ( 0 ) සහ තිසර පෙරේරා ( 2 ) දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකා ඉනිම කඩා වැටීම සිදුවූහ. එහිදි මොහොමඩ් නබීගේ පන්දුවාරයේදී කඩුලු 3 ක්ම ශ්‍රී ලංකා ඉනිමෙන් උදුරා ගැනමට සමත් වූයේ තරගය සම්පූර්ණයෙන්ම කණපිටු හරවමිනි.  

එහෙත් තරගයට වර්ෂවෙන් බාධා වීමත් සමග තරගය මිනිත්තු 150 ක පමණ කාලයක් නවතා තැබීමට සිදුවීම නිසා එක් ඉනිමකින් පන්දුවාර 9 බැගින් අඩු කිරීමට තරග විනිසුරැවන් තීරණය කලහ.

වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33 කදී කඩුලු 8 කට ලකුණු 182 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 81 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 2 න් අද ලද ජයග්‍රහණයත් සමග සිය ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්තානයේ සිට  6 වැනි ස්ථානය දක්වා පෙරට පැමිණිමට හැකියාව ලැබිණ.

ශ්‍රි ලංකා කණ්ඩායම – පන්දුවාර 36.5 කදී සියලු දෙනා දැවී ලකුණු 201

( දිමුත් කරුණාරත්න 30, කුසල් ජනිත් පෙරේරා 78, ළහිරැ තිරිමාන්න 25, සුරංග ලක්මාල් නොදැවී 15, මොහොමඩ් නබී 30/4, රෂිඩ් ඛාන් 17/2 )

ඇෆ්ගනිස්තාන කණ්ඩායම – පන්දුවාර 32.4 කදී සියලු දෙනාදැවී ලකුණු 152

(හස්රතුල්ලා සසායි 30, ගුල්බදීන් නයිබ් 23, නජිබුල්ලා සද්‍රාන් 43, නුවන් ප්‍රදිප් 31/4, ලසිත් මාලංග 39/4 )

ජායාරූප – ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.