සත්කාරක එංගලන්තයට ලකුණු 106 ක විශිෂ්ට ජයක්

ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය ( 153 )  හමුවේ බංග්ලාදේශයට එරෙහිව කාඩිෆ්හිදී අද ( 08 ) පැවැති තරගයෙන් ලකුණු 106 ක විශිෂ්ට ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පෙරමුණට පැමිණිමට එංගලන්තයට හැකි විය.

ලකුණු 387 ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48.5 කදී  සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 280 ක් පමණි.

බංග්ලාදේශ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ටමීම් ඉක්බාල්ට සහ සෞම්‍ය සකර්ට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ජොෆ්රා ආචාර් ලකුණු 2 ලබා සිටියදී සෞම්‍ය සකර් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. බංග්ලාදේශ පළමු කඩුල්ල ලකුණු 8 ක් තුළදී බිද වැටීමත් සමග පිටියට පිවිසි ශකීබ් අල් හසන් පන්දු 119 කදී හයේ පහරක් සහ හතරේ පහර 12 ක් සමගින් ලකුණු 121 ක් රැස් කිරීමට සමත් වුවද එය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය. තෙවැනි කඩුල්ල සඳහා එක්වූ මුෂ්ෆිකර් රහීම් හා ශකීබ් අල් හසන් ලකුණු 106 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවත්  මුෂ්ෆිකර් රහීම් ලියාම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ලකුණු 44 කට දැවී යාමත් සමග බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුව ද ගිලීහි ගියේය. ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 30 සිමාවත් පසුකර යාමට එංගලන්ත පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පිතිකරුවන්ට තර්ජනාත්මක අයුරින් සිය පන්දු යැවීමේ රටාවකට හුරුව සිටින මෙන්ම එංගලන්ත කණ්ඩායමේ බලාපොරොත්තුව බවට පත්ව සිටින ජොෆ්රා ආචර් ලකුණු 29 කට කඩුලු 3 ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු 23 කට කඩුලු 3 ක්ද බිඳ හෙලමින් එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත  කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 386 ක් රැස් කිරීමට සමත් විය. මෙය එංගලන්ත කණ්ඩායමක් විසින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී රැස්කල වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක්විය.

ජේසන් රෝයි සමගින් ඉනිම ඇරඹූ ජොනී බෙයාර්ස්ටොව් පළමු කඩුල්ල සදහා ලකුණු 128 ක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ජොනී බෙයාර්ස්ටොව් ලකුණු 51 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට මෂ්රෆී මොටාසා සමත් වුවද සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජොස් බට්ලර් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 44 කදී හයේ පහර 4 ක් සහ  හතරේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය.

අවසන් පන්දුවාර 3 තුළදී පිටියට පිවිසි ක්‍රිස් වොක්ස් සහ ලියාම් ප්ලන්කට් පන්දු 17 කදී නොබිදුණු ලකුණු 45 ක සබඳතාවයක් ගොඩ නගමින් එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 380 සීමාවෙන් එපිටතට රැගෙන යාමට සිය දායකත්වය ලබා දුන්හ. එහදී ලියාම් ප්ලන්කට්  පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 27 ක් සහ ක්‍රිස් වොක්ස් පන්දු 8 කදී හයේ පහර 2 ක් සමගින් ලකුණු  18 ක් රැස් කිරීමට සමත් වූහ.

පන්දු යැවීමේදී මොහොමඩ් සයිෆුදීන් සහ මෙහිදි හසන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

එංගලන්ත කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 386

( ජේසන් රෝයි 153, ජොනී බෙයාර්ස්ටොව් 51, ජොස් බට්ලර් 64, ඔයින් මෝගන් 35, ක්‍රිස් වෝක්ස් 18, ලියාම් ප්ලන්කට් 27, මෙහෙදි හසන් 67/2, මොහොමඩ් සයිෆුදීන් 78/2 )

බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 48.5 කදී සියලු දෙනාදැවී ලකුණු 280

(ශකීබ් අල් හසන් 121, හුෂ්ෆිකර් රහීම් 44, මහමුදුල්ලා 28, මොසැන්දික් හුසේන් 26,  බෙන් ස්ටොක්ස් 23/3, ජොෆ්රා ආචර් 29/3 )

ජායාරූප – ක්‍රික් ඉන්ෆෝ ඇසුරෙනි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.