මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට නොසිතූ පරාජයක්

ශ්‍රී ලංකාව එරෙහිව ලකුණු 87 ක පහසු ජයක් අත්කරගත් ඕස්ට්‍රේලියාවට, අද තරගයේදී ලබාගත් ප්‍රසාද ලකුණු 2 ත් සමගින් මුලු ලකුණු 8 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 4 ක් සමගින් තවදුරටත් එහි පස්වැනි ස්ථානයේ රැදී සිටියි.

ජයග්‍රහණය සදහා ලකුණු 335 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැක වූයේ ලකුණු 247 ක් පමණි.

නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා එක්ව ආරම්භක කඩුල්ල සදහා ලකුණු 115 ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවද සෙසු පිතිකරුවන් යළිත් අසාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතූ පරාජයකට මුහුණ දීමට සිදුවිය.

තම එක්දින ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩාකළ දිමුත් කරණාරත්න පන්දු 108 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 97 ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් කුසල් ජනිත් පෙරේරා පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.

පන්දුවාර 32 කදී කඩුලු 4කට ලකුණු 205 ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී කඩයිමක පසුවුවද  මැදපෙළ පිතිකරුවන්ගේ දියාරු පිතිහරඹය හේතුවෙන් තරගයේ සම්පූර්ණ වාසිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම සතු වු අතර දිමුත්ගෙන් දැවී යාමෙන් පසු කිසිදු පිතිකරුවෙකුට හිස එසවීමට අවස්ථාවක් හිමි නොවූහ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 55 කට කඩුලු 4 ක් සහ කේන් රිචඩ්සන් ලකුණු 47 කට කඩුලු 3 බැගින් බිද හෙළමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 334 ක් රැස් කළේය.

නායකත්ව ඉනිමක් ක්‍රීඩාකල ඇරෝන් ෆින්ච් පන්දු 132කදී හයේ පහර 5ක් සහ හතරේ පහර  15ක් සමගින් ලකුණු 153ක් රැස් කිරීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු ඉනිමට ශක්තිමත් ආරම්භයක්ද ලබා දෙමිනි.

සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ස්ටිව් ස්මිත් පන්දු 59කදී හයේ පහරක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු 25 කදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ග්ලේන් මැක්ස්වෙල් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 46ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 330 ක් දක්වා ඉහළට ඔසවා තැබුවේය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා හා ඉසුරු උදාන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

කෙසේ වෙතත් මෙම තරගයෙන් පසු සිය අදහස් දැක්වීම සදහා පැවැත්වෙන සිය මාධ්‍ය හමුවට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ඇරෝන් ෆින්ච් සහභාගී වුවද එයට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා හෝ කිසිදු පුද්ගලයෙකු සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.

මේ හේතුවෙන් ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා තිබේ. සාමන්‍යෙයන් තරගයෙන් පසු පැවැත්වෙන මාධ්‍ය හමුව සඳහා කණ්ඩායමෙන් කෙනෙකු සහභාගී කරවීම ජාත්‍යනක්තර ක්‍රිකට් කවුන්සලයේ එක් අංගයක් බව ඔවුන් පෙන්වා තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ක්‍රියා කළාපය ජාත්‍යන්තරය තුළ දැඩි කතා බහට ලක්වන කරුණක් මෙන්ම එය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන කලු පැල්ලමක් බව ජාත්‍යන්තරය පෙන්වා දී තිබේ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.