එංගලන්තය අවධානම් කළාපයේ තබා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට ! 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය ලෙස පැවැති එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර තරගයෙන් ලකුණු 64 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද ( 25 ) සමත් විය. ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයෙ තහවුරු කරගත් පළමු කණ්ඩායම බවට ඕස්ට්‍රේලියාව පත්විය.

මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සාර්ථව ආරම්භයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම මේ වනවිට අවධානම් කළාපයේ රැදී සිටින කණ්ඩායමක් බවට පත්ව තිබේ. එයට හේතු වී ඇත්තේ අවසන් කණ්ඩායම් 4 තුළට රිංගා ගැනීමට මේවනවිට ශ්‍රී ලංකව, බංග්ලාදේශය සහ පකිස්තානය අතර දැඩි තරගකාරීත්වයක් හට ගැනීමත් සමගය. ඒ අනුව එංගලන්තයට අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට නම් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සහ නවසීලන්තය එරෙහි තරග දෙක අනිවාර්යයෙන්ම ජයගත යුතු තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඔවුන් එම තරග දෙකම වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයකින් යුතුව ජය ගැනීමට සමත් වුවහොත් කිසිදු පීඩනයකින් තොරව අවසන් පූර්ව වටයේ ස්ථානය නිසැකයෙන්ම තහවුරු වනු ඇත. ශ්‍රී ලංකාවටද තවත් තරග 3ක් ඉතිරිව ඇති හෙයින් අවසන් පූර්ව වටයේ ස්තානය තහවුරු කර ගැනීමට නම් එම තරග 3ම ශ්‍රී ලංකාවට ජයගත යුතුව තිබේ. පවතින තත්ත්වය මත ශ්‍රී ලංකාව එම තරග තුන ජයගත යුතු වන්නේ ධන ලකුණු ලබා ගැනීමේ වේගයක් මතය. මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය පවතිනුයේ සෘන තත්ත්වයක වීම ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තයට පසු අවසන් පූර්ව වටයට රිංගා ගැනීමට මාන බලන සෙසු කණ්ඩායම් දෙක වන්නේ බංග්ලාදේශ කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායමයි. ඔවුන්ද ජයග්‍රාහී මාවතට අවතීර්ණ වී සිටින හෙයින් මේ වනවිට තරගාවලිය දැඩි උණුසුම් තත්ත්වයට පත්ව තිබේ. බංග්ලාදේශයට තවත් තරග 2ක් ඉතිරිව ඇති හෙයින් ඔවුන් එම තරග 2 ජය ගත්තද ඔවුන්ට ලබා ගත හැකි වන්නේ ප්‍රසාද ලකුණු 11ක් පමණි. පකිස්තානයටද තවත් තරග 3ක් ඉතිරිව ඇති හෙයින් ප්‍රසාද ලකුණු සටහනේ යා හැක්කේ උපරිම ලකුණු 11 ක් දක්වා පමනි. මේ තත්ත්වය මත එංගලන්තයට හෝ ශ්‍රී ලංකාවට ඔවුන් සහභාගී වන තරග සියල්ල ජය ගැනීමට හැකි වන්නේ නම්, එම කණ්ඩායම් දෙකින් එකකට අවසන් කන්ඩායම් 4හි අසුන් ගැනීමට අවස්ථාවක් හිමිවනු ඇත. වඩාත් වැදගත් වන්නේ තරග ජයග්‍රහණයන් මෙන්ම ධන ලකුණු වේගයක තම කණ්ඩායම පවත්වා ගැනීමය. කෙසේ වෙතත් නවසීලන්තය සහ ඉන්දියාව තවත් එක් තරග ජයග්‍රහණයක් සමගින් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට වැඩි අවස්ථාව පවති. ඉන්දියාවට තවත් තරග 4ක් සහ නවසීලන්තයට තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර ඔවුන් පිළිවෙලින් ප්‍රසාද ලකුණු 9 සහ 11 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථානයන්හි රැදී සිටියි.

ජයග්‍රහණය සඳහා ලකුණු 286 ක ඉලක්කය හඹාගිය සත්කාරක එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 44.4 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 221ක් පමණි.

එංගලන්ත ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත් වූ බෙන් ස්ටොක්ස් ලකුණු 89ක් ලබා සිටියදී මිචෙල් ස්ටාක්ගේ යෝකර් පන්දුවක් හමුවේ දැවී ගියේ සමස්ත තරගයේම වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතු කරමිනි. ඔහු දැවීයන විට ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

එංගලන්ත මුල්පෙළ පිතිකරුවන් සිව්දෙනෙකුම ලකුණු 53 ක් තුළදී නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවූ මිචෙල් ස්ටාක් සහ ජේසන් බෙරන්ඩෝෆ් එංගලන්ත ඉනිම ආරම්භ වී පන්දුවාර 15ක් යාමටත් මත්තෙන් තරගයේ වැඩි වාසිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙත නතුකර දුන්හ.

තම එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ජේසන් බෙරන්ඩෝෆ් ලකුණු 44කට කඩුලු 5ක් බිද හෙලීය. එංගලන්ත මුල්පෙළ පිතිකරුවන්ට තර්ජනාත්මක අයුරින් පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් ලකුණු 44කට කඩුලු 4ක් බිද හෙළමින් ජේසන් බෙරන්ඩෝෆ්ට අනගි සහයක් ලබාදුන්නේය.

කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 285ක් රැස් කළේය.

ඕස්ට්‍රේලියානු ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක ආරෝන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 123 සබඳතාවයක් ගොඩ නගමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ආරෝන් ෆින්ච් මෙවර තරගාවලියේ දෙවැනි ශතකයද වාර්තා කරමින් පන්දු 116කද හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 100ක් රැස් කිරීමට සමත් විය. ඔහු සමගින් ඉනිම ඇරඹූ ඩේවිඩ් වෝනර් පන්දු 61 කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 53ක් රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් ලකුණු 46කට කඩුලු 2ක් බිද හෙලීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.