හතුරුසිංහ ඇතුලු 6 දෙනෙකුට වැඩ වරදින ලකුණු

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රදර්ශනය කළ දැඩි අසාර්ථකත්වය පිළිබඳව අවදානය යොමු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය මෙම තීරණයට එළඹ ඇති බව දැනගන්නට තිබේ.

එම නිලධාරීන් හය දෙනාට කණ්ඩායමේ පුහුණුකරුවන් තිදෙනාම ඇතුළත්ව ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නිලධාරීන් දස දෙනකු ඇතුළත් වන අතර, ඒ අතර විදේශිකයන් තිදෙනකුද සිටියි. විදේශිකයන් වන ස්ටීව් පන්දු රැකීමේ පුහුණුකරු ලෙසද, ජෝන් ලුවිස් පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙසද, නික් ලී අභ්‍යාසකවරයා ලෙසද, කටයුතු කරයි. මනෝජ් අබේවික්‍රම පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙසද, අජන්ත වත්තේගම භෞතචිකිත්සකවරයා ලෙසද, ලෝක කුසලාන කණ්ඩායමේ කටයුතු කරයි.

අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපතිවරයා සහ කණ්ඩායම් කළමනාකරු ලෙසද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විදේශ ක්‍රිකට් අංශ ප්‍රධානී චන්දිම මාපටුන සැපයුම් කළමනාකරු ලෙසද, කටයුතු කරයි.

පරිගණක විශ්ලේෂකයකු සහ තවත් නිලධාරියෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් කාර්ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව සිදුකළ විමසුමේදී පැවසුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගෙන්ද උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

“අපේ කණ්ඩායම නැවත ලංකාවට ගියාම ක්‍රිකට් අනාගතය වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්න වෙනවා. දැනට ඉවත් කරන නිලධාරීන්ගේ නම් කියන්න හැකියාවක් නෑ. නමුත් අපි දැඩි තීරණයක් ගන්න සූදානමින් ඉන්නවා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන නවවැනි සහ අවසන් තරගය ඉන්දියාවට එරෙහිව අද (06) ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.