එංගලන්තය සුපිරි පන්දුවාරයෙන් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගනියි !

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති  අවසන් මහ තරගයේ ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයෙන් මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම අද ( 14) අද සමත් විය.

ලකුණු 242 ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් විය. කණ්ඩායම් දෙකම ලකුණු සමවීම හේතුවෙන් සුපිරි පන්දුවාරයෙන් ජයග්‍රාහකයා තේරීමට තරග විනිසුරැවරුන්ට සිදුවිය. ඒ අනුව පළමුව සුපිරි පන්දුවාරය ක්‍රීඩාකල එංගලන්ත කණ්ඩායම පන්දු 6තුළදී ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත්ත කණ්ඩායදම නියමිත පන්දු 6 තුළදී ලකුණු 15ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව සුපිරි ඕවරයේදීද කණ්ඩායම් දෙක ලබාගත් ලකුණු සමාන වීම නිසා එහිදී වැඩිම හයේ සහ හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායම තරගයේ ජයග්‍රාහකයන් බවට පත්විය. සුපිරි ඕවරයේදීද එංගලන්ත කණ්ඩායම හතරේ පහර 2 ක් එල්ල කර තිබූ අතර නවසීලන්ත කණ්ඩායම එල්ල කර තිබුණේ එක් හයේ පහරක් පමණි.

ඒ අනුව නවසීලන්තයට වඩා වැඩි හයේ සහ හතරේ පහර සංඛාවක් එල්ල කර තිබීම නිසා එංගලන්තය මෙවර ලෝක ශූරයන් බවට පත්විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ බෙන් ස්ටොක්ස් පන්දු 98කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින්නොදැවී ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ජොස් බට්ලර් පන්දු 60කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ ආරම්භක පන්දුවාර 10 තුලදී නවසීලන්ත ආරම්භක පිතිකරුවන්ට රැස් කිරීමට හැකිවුයේ ලකුණු 33ක් පමණක් වන අතර ප්‍රවේගකාරී පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු 19ක් ලබා සිටියදී ඔහුගේ කඩුල්ල දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත්විය.

තරගාවලිය පුරාම නවසිලන්ත පිතිකරණ බල ඇණියේ නැංගුරම වූ නායක කේන් විලියම්සන් ලකුණු 30කට දවා ගනිමින් එංගලන්ත පන්දු යවන්නන් සිය අණසක පැතිරවීමට සමත් වූ අතර එතැන් පටන් නවසීලන්ත පිතිකරුවන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හැකිවුයේ නැත.

නවසිලන්තය වෙනුවෙන් ආරම්භක පිතිකරු හෙන්රි නිකලස් ලකුණු 55ක් සහ ටොම් ලැතම් ලකුණු 47ක් රැස්කර ගනු ලැබූහ. එංගලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ ලියාම් ප්ලන්කට් ලකුණු 42කට කඩුලු 3ක් සහ ක්‍රිස් වෝක්ස් ලකුණු 37 ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූහ.

එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය බෙන් ස්ටොක්ස් අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගනිද්දී, තරගාවලියේ වීරයා සම්මානය කේන් විලියම්සට හිමි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.