කුසල්ගේ ශතකයෙන් , බංග්ලාදේශයට ලකුණු 315 ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද ( 26 ) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 314 ලබා ගැනීමට සමත්විය.

තම අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරමින් සිටින ලසිත් මාලිංග අද දිනයේදී 9 වැනි පිතකරුවා ලෙස පිටියට පිවිසෙමින් නොදැවී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වූ අතර ඒ අනුව බංග්ලදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 315කි.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්නට සහ අවිශ්ක ප්‍රනාන්දුට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් ෂෆියුල් ඉස්ලාම් ලකුණු 07ක් ලබාසිටි අවිශ්ක ප්‍රනාන්දු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

ඉන් අනතුරුව පිටියේ එක් වූ කුසල් ජනිත් පෙරේරා සහ නායක දිමුත් කරුණාරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 97ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් ස්ථාවර තත්ත්වයකට ගෙන එමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබූහ. මෙහිදි හසන්ගේ පන්දුවක් හමුවේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 36කට දැවී යාමත් සමග ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 2කට ලකුණු 107 ලෙසිනි.

බංග්ලාදේශ පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කළ කුසල් ජනිත් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ල සඳහා පන්දු 106 කදී ලකුණු 100 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ.  එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩාකළ කුසල් ජනිත් පෙරේරා පන්දු 99කදී හයේ පහරක් සහ හතරේ පහර 17ක් සමගින් ලකුණු 111ක් රැස් කිරීමට සමත් වූයේ තම එක්දින ක්‍රිකට් පිටියේ 5වැනි ශතකය තමන් ඉදිරියේ සනිටුහන් කර ගනිමිනි.

කුසල් මෙන්ඩිස්, රුබෙල් හසන්ගේ පන්දුවක් හමුවේ මුෂ්ෆිකර් රහීම්ගේ අතට උඩපන්දුවක් ලබා දීම නිසා ලකුණු 43 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ වනවිට ශ්‍රී ලංකා පුවරුව සටහන් වූයේ කඩුලු 4කට ලකුණු 212 ක් ලෙසයි.

පස්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඇන්ජලෝ මැතිවුස් ලකුණු 48ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට මුස්ටෆිසුර් රහ්මාන් සමත් විය.

පන්දු යැවීමේදී ෂෆියුල් ඉස්ලාම් ලකුණු 62කට කඩුලු 3ක් සහ මුස්ටෆිසුර් රහ්මාන් ලකුණු 75කට කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 50 අවසනාවයේ කඩුලු 8කට ලකුණු 314

( දිමුත් කරුණාරත්න 36, කුසල් ජනිත් පෙරේරා 111, කුසල් මෙන්ඩිස් 43, ලහිරු තිරිමාන්න 25, ඇන්ජලෝ මැතිවුස් 48, ලසිත් මාලිංග නොදැවී 06, ෂෆියුල් ඉස්ලාම් 62/3, මුස්ටෆිසුර් රහ්මාන් 75/2 ) 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.