බංග්ලාදේශයෙන්, ශ්‍රී ලංකාවට ලකුණු 239ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද ( 28 ) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කරමින් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් රැස් කිරීමට සමත් විය.

බංග්ලාදේශ ඉනිම ඇරඹීමට පිටියට පිවිසි නායක තමීම් ඉක්බාල් සහ සෞම්‍ය සකාර්ට සාර්ථක සබඳතාවයක් ගොඩ නැගීමට අවස්ථාව ලබා නොදුන් නුවන් ප්‍රදීප් ලකුණු 11 ක් ලබා සිටි සෞම්‍ය සකාර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමත් සමග බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේය.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල දැවී ලකුණු 05ක් යාමටත් මත්තෙන් දෙවැනි කඩුල්ල ද උදුරාගත් ඉසුරු උදාන, ලකුණු 19ක් ලබා සිටි නායක තමීම් ඉක්බාල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

පළමු එක්දින තරගයේදී ලකුණු 60ක් ලබා ගනිමින් බංග්ලදේශ ඉනිම ශක්තිමත් කළ සබීර් රහ්මන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත් වූයේ බංග්ලදේශයට පස්වන කඩුල්ල ද අහිමි කරමිනි.

බංග්ලාදේශ ඉනිමේ මුල්පෙළ පිතිකරුවන් පස්දෙනාම ලකුණු 88ක් තුළ දැවීගොස් තිබියදී මුෂ්ෆිකර් රහීම් තම කඩුල්ල ආරක්ෂා කරගනිමින් අටවන පිතිකරුවා ලෙස පිටියට පිවිසි මෙහිදි හසන් සමග ලකුණු 84ක සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් කඩා වැටී තිබූ බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ. මෙහිදි හසන්, ලකුණු වැඩි කිරීමේ බලාපොරොත්තුවෙන් යුතුව දැවැන්ත පහරකට යොමුවීම හේතුවෙන් නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ ලකුණු 43ක් ලබාසිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවිය. අවසන් පන්දුවාරය තෙක් කඩුල්ලේ රැදී මුෂ්ෆිකර් රහීම් පන්දු 110දී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය.

මෙම වසරේ මාර්තු මාසයෙන් පසු යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි අකිල ධනංජය ලකුණු 39කට කඩුලු 2ක් සහ තිසර පෙරේරා වෙනුවට කණ්ඩායමට එක්කළ ඉසුරු උදාන ලකුණු 58 කට කඩුලු 2 ක් බැගින් බිද හෙලීමට සමත් වූහ.

බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 238

( තමීම් ඉක්බාල් 19, මුෂ්ෆිකර් රහීම්  නොදැවී 98, මෙහිදි හසන් 43, අකිල ධනංජය 39/2, ඉසුරු උදාන 58/2 )

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට් ඇසුරෙනි 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.