හතුරුසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකා පුහුණු මණ්ඩලයට තවත් කාලයක් ලබා දෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා  සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ක්‍රීඩා අමාත්‍යංශයේදී අද (02) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු පුහුණුකරුවන්ගේ සේවය එළඹෙන නවසීලන්තය සංචාරය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් ක්‍රීඩා අමාත්‍යවරයා බංග්ලාදේශ සංචාරය ආරම්භ වීමට පෙරාතුවම පවසා සිටියේ නවසීලන්ත සංචාරයේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නව පුහුණු මණ්ඩලයක් පත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි. එහෙත් බංග්ලාදේශයට එරෙහිව පසුගියදා ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0 කින් එක්දින තරගාවලිය ජය ගැනීමත් සමග මෙම තීරණය ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ, වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස ජෝන් ලුවිස් යන මහත්වරු කටයුතු කරති.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.