පළමු විස්සයි 20 තරගයේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද ( 03 ) සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 96 ක ඉලක්කය හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුලු 6ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

ඉන්දීය ආරම්භක පිතිකරු රොහිත් ශර්මා ලකුණු 24 ක්,  නායක විරාට් කෝලි ලකුණු 19 ක් සහ කෘනාල් පාණ්ඩ්‍යා ලකුණු 19 ක් බැගින් රැස් කර මින් ඉනිදීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු යැවීමේදී ශෙල්ඩන් කොට්‍රිල්, සුනිල් නරේන් සහ කීමෝ පෝල කඩුලු 2 බැගින් බිද හෙලූහ.

කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 95ක් පමණි.

කොදෙව් ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජෝන් කැම්බල් හා එවින් ලෙවිස් ලකුණු ලබා ගැනීමටත් පෙරාතුවම පිටියෙන් ඉවත් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

කොදෙව් ඉනිමේ තෙවැනි සහ සිව්වන පිතිකරුවන් ලෙස පිටියට පැමිණි නිකලස් පූරන් සහ කිරන් පොලාඩ් නොසිට්න්නට කොදෙව් ඉනිම ලකුණු 50කටත් අඩුවෙන් සීමා වීමට ඉඩ තිබිණ. කිරන් පොලාඩ් හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 49ක් ද, නිකලස් පූරන් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 20 ක් ද රැස් කරමින් කොදෙව් ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළහ.

එහෙත් ඔවුන්ගේ දැවී යාමෙන් පසු පිටියට පැමිණි වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාවවත් පසුකර යාමට අවස්ථාවක් හිමි නොවූහ.

මංගල විස්සයි 20 වරම් හිමිකර ගත් නව්දීප් සයිනි ලකුණු 17කට කඩුලු 3ක් සහ බුවනේෂ්වර් කුමාර් ලකුණු 19 ට කඩුලු 2 ක් බිද හෙලූහ.

බ. ඉන්දීය කොදෙව් – පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 95

( නිකලස් පූරන් 20, කිරන් පොලාඩ් 49, නව්දීප් සයිනි 173, බුවනේෂ්වර් කුමාර 19/2 )

ඉන්දියාව – පන්දුවාර 17.2 කදී කඩුලු 6කට ලකුණු 98

( රොහිත් ශර්මා 24, විරාට් කෝලි 19, කෘනාල් පාණ්ඩ්‍යා 19, සුනිල් නරේන් 14/2, ශෙල්ඩන් කොට්‍රිල් 20/2, කීමෝ පෝල් 23/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.