ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ හොං කොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් තරග වට 3-0 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම අද ( 05 ) සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ තරග 3න් තරග දෙකක්ම ජය ගැනීමට සමත් විය.
හොං කොං ක්‍රීඩකයන්ට කිසිසේත්ම හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු වටය ලකුණු 25 – 17 කින් ජය ගැනීමට සමත් වූහ. දෙවැනි සහ තෙවැනි තරග වට වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යම් අභියෝගයක් එල්ල කළද, එම තරග වට දෙකද පිළිවෙලින් ලකුණු 25 – 22 සහ 25 – 22 ලෙසින් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය ද තහවුරු කර ගත්තේය.
ශ්‍රී ලංකා මෙවර ‘ ඒ ‘ කාණ්ඩයෙන් තරගාවලියට පිවිසි අතර එහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය තරග වට 3-0 කින් පරාජය වීමට සිදුවිය. එහෙත් සත්කාරක මියන්මාර කණ්ඩායමට එරෙහිව ඊයේ ( 4 ) පැවැති තරගයෙන් තරග වට 3-1 කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය. ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණිෂ්ට වොලිබෝල් කණ්ඩායම ඉදිරි තරග වට සඳහා සුදුසුකම් ලබා ගැනීමට අද සමත් විය.
අද දිනට පැවැත්වූ සෙසු තරග වලදී, නවසීලන්තයට එරෙහිව චීනය තරග වට 3-0 ක ජයක් සහ සත්කාරක මියන්මාර් කණ්ඩායමට එරෙහිව තරග වට 3 – 2ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.
Be the first to comment