චීන තායිපේ ආසියාවේ ශූරයන් වෙද්දී, ශ්‍රී ලංකාවට 8 වැනි තැන

ඉන්දියාව තරග වට 3 – 1කින් පරාජය කළ චීන තායිපේ කණ්ඩායම තෙවැනි වරටත් පවත්වනු ලැබූ ආසියානු කුසලාන වයස 23 න් පහළ වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අද ( 11 ) සමත් විය. මෙවර තරගාවලිය මියන්මාරයේ සත්කාරකත්වයෙන් පැවැත්විණ.

ඉන්දීය ක්‍රීඩකයින්ට පළමු වට දෙක තුළදී  කිසිසේත්  හිස  එසවීමට අවස්ථාවක් ලබා නොදුන් චීන තායිපේ ක්‍රීඩකයන් එම තරග වට දෙක පිළිවෙලින්  ලකුණු 25 – 21 ක් සහ ලකුණු 25 – 20 කින් ජය ගැනීමට සමත් විය. තෙවැනි තරග වටය ලකුණු 25 – 19 කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුවද අවසන් හෙවත් සිව්වන තරග වටයේදී නැවතත් ලකුණ 25 23 කින් පරාජය වීමට ඉන්දියාවට සිදුවිය. ඒ අනුව තරග වට 3 – 1 කින් ජයගත් චීන තායිපේ ක්‍රීඩකයෝ පළමු වරට සිය ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් වූහ.

පකිස්තානය තරග වට 3 – 0 කින් පරාජය කරමින් ජය තහවුරු කරගත් ජපානය මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.  ඒ අනුව පකිස්තානයට මෙවර තරගාවලියේ සිව්වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. කෙසේ නමුත් 2017 වසරේ පැවති තරගාවලියේදී ජපානය අනුශූරතාව දිනා ගැනීමට සමත් වී තිබුණද මෙවර තරගාවලිය ඔවුන්ට අවසන් කිරීමට සිදුවූයේ තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටෙමිනි. එහෙත් 2017 වසරේ දී 6 වැනි ස්තානය දිනාගත් පකිස්තානය මෙවර සිව්වන ස්ථාන දක්වා පියවර දෙකක් ඉදිරියට ඒමට සමත් විය.

තරගාවලියේ 5 සහ 6 වැනි ස්තාන සඳහා පැවැති තරගයෙන් තරග වට 3- 2 කින් ජයගත් කසකස්තානය මෙවර තරගාවලියේ 5 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව චීනයට හිමිවූයේ 6 වැනි ස්ථානයයි. ඒ අනුව කසකස්තානය ද 2017 වසරේදී පැවැති තරගාවලියට වඩා තවත් ස්ථාන 2ක් ඉදිරියට පැමිණිමට සමත් විය.

තරගාවලියේ 7 වැනි සහ 8 වැනි ස්ථාන සඳහා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හමුවේ තරග වට 3 – 0 කින් පරාජය වීමට සිදුවිය. ඒ අනුව කණ්ඩායම් 16ක් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර 8 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඒ අනුව 2017 වසරේ පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූයේ 10 වැනි ස්ථානයයි. ඒ අනුව මෙවර ස්ථාන 2ක් ඉදිරියට එමින් තරගිවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව ලැබිණ. සත්කාරක මියන්මාර් කණ්ඩායම හිමිවූයේ 10 වැනි ස්තානයයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.