විරාට් කෝලිගේ විශිෂ්ට ශතකය හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම ඊයේ ( 14 ) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැති තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0 කින් ජය ගැනීමට ඉන්දීයාවට හැකිවිය.
ලකුණු 241 ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 32.3 කදී කඩුලු 4ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය ඉන්දීය නායක විරාට් කෝලි පන්දු 99කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 114 ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරගාවලියේ පිට පිට දෙවැනි ශතකයද තමන්ගේ ගිණුමට එකතු කර ගනිමිනි. එය විරාට් කෝලි එක්දින ක්‍රිකට් පිටියේ ලබාගත් 43 වැනි ශතකය විය. විරාට් කෝලිට අනගි සහයක් ලබාදුන් ශ්‍රියාස් අයියර් පන්දු 41කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 65ක් රැස් කිරීමට සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 35 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 240ක් පමණි. තරගයට වර්ෂවෙන් බාධා පැමිණිම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 35කට සීමා කිරීමට තරග තිරකයෝ තීරණය කළහ.
කොදෙව් ඉනිම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ක්‍රිස් ගේල් පන්දු 41කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.
ඉන්දීය නායක විරාට් කෝලි අවසන් තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තේය.
Be the first to comment