නායක දිමුත් කරුණාරත්න සහ ළහිර තිරිමාන්න ආරම්භක කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 133ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නගමින් සිව්වන දිනය ( 17 ) අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමින් සිටියහ. අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සිව්වන දිනට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 133ක් ලබා සිටියේය. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට කඩුලු 10ක් ඇතැතිව තවත් ලබාගත යුතුව ඇත්තේ, ලකුණු 135ක් පමණි. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ( නොදැවී 71 ) සහ ලහිරු තිරිමාන්න ( නොදැවී 57 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.
දිවා ආහාරයෙන් පසු ලකුණු 268 ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලය අද තරගය නිමාවන තෙක් පැය තුනහ මාරක පමණ කාලයක් කඩුල්ලේ රැදී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබාදුන්හ. මෙය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් ඕනෑම රටකට එරෙහිව සිව්වැනි ඉනිමේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාවය වීමද විශේෂත්වයකි.
නොදැවී ලකුණු 71ක් ලබා සිටින දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට අද සමත් වූ අතර ඔහුට අනගි සහයක් ලබාදුන් ලහිරු තිරිමාන්න ද සිය ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකය වාර්තා කරමින් කලකට පසු ශ්‍රී ලංකාවට සාර්ථක ටෙස්ට් ඉනිමක් ක්‍රීඩා කරනු ලැබීය.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 285ක් පමණි.
ලකුණු 124 කට කඩුලු 6ක් දැවී අසීරු අඩියක පසුවූ නවසීලන්ත කණ්ඩායම ඉහළට ඔසවා තැබූ ටිම් සවුති සහ බී ජේ වොට්ලින් 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 54ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූහ. ටිම් සවුති පන්දු 62 කදී හතරේ පහරක් සමගින් ලකුණු 23ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. සවුතිගේ දැවී යාමත් සමග පිටියේ එක්වූ වොට්ලින් සහ විලියම් සමර්විල් තෙවැනි දිනය වූ ඊයේ දිනට තරගය නතර කරන විටත් කඩුල්ල ආරක්ෂා කරගනිමින් පන්දුවට පහර දෙමින් සිටියහ. සිව්වන දිනය අරඹමින් අද උදෑසන පන්දුවට පහර දීමට පිටියට පිවිසි වොට්ලින් සහ සමර්විල් එක්ව නවසීලන්ත ඉනිමට තවත් ලකුණු 29ක් එක් කිරීමට සමත් වූහ. නවසීලන්ත දෙවැනි ඉනිම ශක්තිමත් කළ බීජේ වොට්ලින්, ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවීයන විට ලකුණු 77ක් ලබා සිටියේය. නවසීලන්ත 9 වැනි කඩුල්ලට තවත් ලකුණු 36ක් එක්කළ විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු පුවරුව 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට කටයුතු කළේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ලබා දෙමිනි.
පළමු ඉනිමේදී අකිල ධනංජයගේ පන්දුව හමුවේ අසරණ වූ නවසීලන්ත මුල්පෙළ පිතිකරුවන්ට දෙවැනි ඉනිමේදී ලසිත් ඇඹුල්දෙනියගේ පන්දු යැවීමේ හමුවේ යළිත් අසාර්ථක විය. නවසීලන්ත දෙවැනි ඉනිම ඇරඹීමට පිටියට පිවිසි ජිට් රාවල්ට සහ ටොම් ලේතන්ට පිටියේ සථාවර වීමට අවස්ථාව ලබා නොදුන් ධනංජය ද සිල්වා ලකුණු 4ක් ලබා සිටි ජිට් රාවල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. සිය පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදී නායක කේන් විලියම්සන්ට නවසීලන්ත කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට අවස්ථාවක් හිමි නොවීය. ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ කුසල් ජනිත් පෙරේරාගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යනවිට රැස්කරගෙන සිටියේ ලකුණු 4ක් පමණි. කේන් විලියම්සන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර ද එක් ටෙස්ට් කරගයකට ක්‍රීඩාකර ඇතිමුත් එහිදී ද ඔහුට දක්ෂතා අතර එමට අවස්ථාවක් හිමි වී නැත. එහිදීද පළමු ඉනිමේදී ලකුණු නොලබාම දැවීගිය විලියම්සන්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වී ඇත්තේ ලකුණු 10ක් පමණි.
>>ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාසිය ගනියි<<
පළමු ඉනිමේදී නවසීලන්ත කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්වූ රොස් ටේලර්ට දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 3ක් පමණි.
සිය තෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 99කට කඩුලු 4ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 25කට කඩුලු 3ක් බිද හෙලූහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම – පන්දුවාර 50කදී කිසිවෙකු නොදැවී 133
( දිමුත් කරුණාරත්න නොදැවී 71, ලහිරු තිරිමාන්න නොදැවී 57 )
නවසීලන්ත දෙවැනි ඉනිම – පන්දුවාර 106 කදී සියලු දෙනා දැවී ලකුණු 285
( ටොම් ලේතන් 45, හෙන්රි නිකලස් 26, බි ජේ වොට්ලින් 77, ටිම් සවුති 23, විලියම් සමර්විල් නොදැවී 40, ලසිත් ඇඹුල්දෙනිය 99/4 , ධනංජය ද සිල්වා 25/3 )
ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 93.2කදී සියලු දෙනා දැවී ලකුණු 267
( දිමුත් කරුණාරත්න 39, කුසල් මෙන්ඩිස් 53 , ඇන්ජලෝ මැතිවුස් 50, නිරෝෂන් දික්වැල්ල 61, සුරංග ලක්මාල් 40, අජාස් පටෙල් 89/5, විලියම් සමර්විල් 83/3 )
නවසීලන්ත පළමු ඉනිම – පන්දුවාර 83.2 කදී සියලු දෙනා දැවී ලකුණු 249
( ජිට් රාවල් 33, ටොම් ලේතන් 30, රොස් ටේලර් 86, හෙන්රි නිකලස් 42, අකිල ධනංජය 80/5, සුරංග ලක්මාල් 29/4 )
Be the first to comment