පැතුම් නිස්සංකගේ විශිෂ්ට ශතකය ( නොදැවී 115 ) සහ මිනෝද් භානුකගේ අර්ධ ශතකය ( 55 ) හේතුවෙන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද ( 24 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය තරග 2-1 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 270 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 199ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 28 අවසානයේදී ලබාගත යුතුව තිබුණේ ලකුණු 199ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 78කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමගින් නොදැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය. ඔහු හා අනෙත් අන්තයේ ක්‍රීඩාකළ මිනෝද් භානුක ද පන්දු 32 කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් වේගවත් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් විය.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ නැගී එන පිලට ආරාධනා කර සිටි අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 269ක් රැස් කිරීමට සමත් විය.
බංග්ලාදේශ ආරම්භක පිතිකරු සයිෆ් හසන් ද පන්දු 130 කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 117 ක් රැස් කිරීමට සමත් විය. බංග්ලාදේශ ඉනිමේ අවසානය තෙක් රැදී සිටි අෆිෆ් හොසේන් පන්දු 70කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් නොදැවී ලකුණු 68ක් රැස් කිරීමට සමත් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව ලකුණු 250 සීමාවෙන් ඔබ්බට රැගෙන යමිනි.
පන්දු යැවීමේදී කළණ පෙරේරා ලකුණු 47කට කඩුලු 2ක් බිද හෙලීය.
බංග්ලාදේශ නැගී එන කණ්ඩායම – පන්දුවාර 50 අවසානයේ කඩුලු 5කට ලකුණු 269
( සයිෆ් හසන් 117, නජ්මුල් හොසේන් 39, අෆිෆ් හොසේන් නොදැවී 68, කළණ පෙරේරා 47/2 )
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – පන්දුවාර 24 කදී කඩුලු 3කට ලකුණු 199 ( ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉලක්කය පන්දුවාර 28 කදී ලකුණු 199 )
( පැතුම් නිස්සංක නොදැවී 115, මිනෝද් භානුක 55 )
Be the first to comment