නේපාල යොවුන් පාපන්දු පිල හමුවේ ශ්‍රී ලංකාව පසු බසියි

දකුණු ආසියානු පාපන්දු සම්මේලනය 6 වැනි වරටත් සංවිධානය කරන “ වයස අවුරුදු 15න් පහළ පාපන්දු ශූරතාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය නේපාල කණ්ඩායමට හමුවේ ගෝල 2 -0 කින් පරාජය විය. මෙම තරගය ඉන්දියාවේ කල්‍යාණි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක අතර තියුණු සටනක් දැක ගැනීමට හැකි වු අතර ඒ අනුව පළමු අර්ධය අවසානයේ කණ්ඩායම් දෙකටම ගෝල රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

එහෙත් දෙවැනි අර්ධයේදී ක්‍රියාත්මක වූ නේපාල ක්‍රීඩක සසන්ක් බොහාරා තරගයේ 46 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් නේපාල කණ්ඩායම පෙරමුණේ තැබීය.

<<ශ්‍රී ලංකා යොවුන් පාපන්දු පිල ගෝල 3-2 කින් භූතානය පරදයි>>

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දෙවැනි අර්ධයේදී කිසිසේත් හිස එසවීමට අවස්ථාවක් ලබා නොදුන් නේපාල ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී විශිෂ්ට ක්‍රීඩා රටාවක් පෙන්නුම් කිරීමට සමත් වූහ. තම කණ්ඩායම වෙනුවෙන් 83 වැනි මිනිත්තුවේදී දෙවැනි ගෝලයද වාර්තා කිරීමට රායි සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට නේපාල කණ්ඩායම හමුවේ ගෝල 2-0 කින් පරාජය වීමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම භුතාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු තරගයේදී ගෝල 3- 2 කින් ජය ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව සහභාගී වන මීලග තරගය බංග්ලාදේශයට එරෙහිව  හෙට ( 25 ) පැවැත්වේ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.