ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංගට හෙටින් ( 01 ) ඇරඹෙන නවසීලන්ත එරෙහි විස්සයි 20 තරගාවලියේදී තවත් වාර්තාවක් තැබීමට අවස්ථාව උදා වී තිබේ.
විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබාගත් පන්දුයවන්නන් අතර කඩුලු 98ක් ලබා ගනිමින් මේ වනවිට පෙරමුණේ පසුවන්නේ පකිස්තාන හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ෂයිඩ් අෆ්රිඩිය. ඔහුව අභිබවා යමින් මෙම වාර්තාව තමන් සතුකර ගැනීමට ලසිත් මාලිංගට තවත් අවශ්‍ය ඇත්තේ, කඩුලු 2ක් පමණි. එසේම මෙම තරගාවලිය තුලදී ඔහුට තවත් කඩුලු 3ක් ලබා ගැනීමට හැකි වන්නේ නම් ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ කඩුලු 100ක් සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමට ද හැකියාව තිබේ. ඔහු එසේ කඩුලු 100 ක් සම්පූර්ණ කිරීමට සමත් වන්නේ නම්, ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරග අංශ තුනේම කඩුලු 100ක් බැගින් ලබාගත් පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසයට ද එක්වනු ඇත.
2010 වසරේ ටෙස්ට් ක්‍රීඩාවට සමුදෙන විට ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක් තම ඉදිරියේ සනිටුහන් කර ගැනීම ලසිත් මාලිංග සමත් වූ අතර, එක්දින පිටියේද තරග 226 කදී කඩුලු 338ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව විස්සයි 20 පිටියේද එම දක්ෂතාවය දැක්වීමට මේ වනවිට අවස්ථාව උදා වී තිබේ.
විස්සයි 20 පිටියේ වැඩිම කඩුලු ලාභීන්
ක්‍රීඩකයා | ක්‍රීඩා කළ අවධිය | තරග | ඉනිම් | පන්දුවාර | නි.ප | ලකුණු | කඩුලු |
ෂයිඩ් අෆ්රිඩ් ( පකිස්තානය) | 2006-2018 | 99 | 97 | 361.2 | 4 | 2396 | 98 |
ලසිත් මාලිංග ( ශ්‍රී ලංකාව ) | 2006-2019 | 73 | 73 | 261.5 | 0 | 1911 | 97 |
ෂකිබ් අල් හසන් ( බංග්ලාදේශය ) | 2006-2018 | 72 | 71 | 261.5 | 1 | 1775 | 88 |
උමාර් ගුල් ( පකිස්තානය ) | 2007-2016 | 60 | 60 | 200.3 | 2 | 1443 | 85 |
සයීඩ් අජ්මාල් ( පකිස්තානය ) | 2009-2015 | 64 | 63 | 238.2 | 2 | 1516 | 85 |
රශීඩ් ඛාන් ( ඇෆ්ගනිස්තානය ) | 2015-2019 | 38 | 38 | 144.0 | 1 | 867 | 75 |
මොහොමඩ් නබි ( ඇෆ්ගනිස්තානය ) | 2010-2019 | 68 | 68 | 238.4 | 5 | 1705 | 69 |
ටිම් සයුති ( නවසීලන්තය ) | 2008-2019 | 58 | 56 | 204.0 | 2 | 1748 | 67 |
අජන්ත මෙන්ඩිස් ( ශ්‍රී ලංකාව ) | 2008-2014 | 39 | 39 | 147.3 | 5 | 952 | 66 |
නුවන් කුලසේකර ( ශ්‍රී ලංකාව ) | 2008-2017 | 58 | 58 | 205.1 | 6 | 1530 | 66 |
Be the first to comment