UAE යොවුන් කණ්ඩායමට ක්‍රිකට් ගහන ශ්‍රී ලාංකික තරුණයා

ක්‍රීඩාව තුළින් ලොව ජයගත් ක්‍රීඩකයන් පිළිබඳ නොයෙකුත් කතා අපි අසා ඇත්තෙමු. එහෙත් තම උපන් බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවුන ද තම දක්ෂතාවයට අවස්ථාවක් හිමි වූ ක්‍රීඩකයන් අපට පසුගිය කාලය පුරාවටම හමු වූයේ අපූර්ව වූ පාඩම් කියා දෙමිනි. එයට කදිම උදාහරණය එංගලන්තයට ලෝක කුසලානයට ගෙන දීමට කටයුතු කළ බෙන් ස්ටොක්ස් සහ ජොෆ්රා ආචර්ය. ඔවුන් දෙදෙනාම උපතින් එංගලන්ත ජාතිකයෝ නොවූහ. බෙන් ස්ටොක්ස් නවසීලන්තයේ උපත ලබද්දී, ජොෆ්රා ආචර්ගේද නිජබිම බවට පත්වූයේ බාර්බඩෝස් ය. නමුත් අද අපි කරන්නට යන්නේ ස්ටොක්ස් ගැනවත් ආචර් ගැනවත් නොව ශ්‍රී ලංකාවේ ඉපිද, බොට්ස්වාන වල හැදී වැඩී පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් වයස 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාකර ගත් එරන් විලියම් බෙන්ජමින් නම් තරුණ ක්‍රීඩකයා පිළිබඳය.

කොහොමද මේ දිනවල වැඩ කටයුතු ?

වරදක් නැහැ. හොදින් වැඩකටයුතු කරගෙන යනවා.

ඉතාමත් සිනාමුසු මුහුණින් අපිව ඇමතූ බෙන්ජමින් ඔහුගේ කතාව කියන්නට පටන් ගත්තේය. නමුත් බෙන්ජමින් යනු වයස අවුරුදු එකහ මාරක් පමණ විට ශ්‍රී ලංකාවෙන් ඈත් වූ කෙනෙකි. ඒ නිසාවෙන්ම ඔහුට සිංහල කතා කිරීමට එතරම් දැනුමක් නොතිබුනද ඔහුගේ පියා මුල සිට අගටම අපිට බෙන්ජමින්ගේ ජීවිත කතාව දිග හැරීමට උදව් කළේය.

ඔබගේ ක්‍රිකට් දිවිය කොහොමද ඇරඹෙන්නේ ?

ඔව් මම මුලින්ම කියන්න ඕන, මම එක්සත් අරාබි එමීර් රාජ්‍යට ක්‍රිකට් ක්‍රීඩා කරන්න කළින් මම අකුණු අප්‍රිකාවේ රටක් වුණු බොට්ස්වානා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කලා. මුලින්ම 2008 වසරේ වගේ තමයි මට අවස්ථාවක් ලැබුණේ බොට්ස්වානා කණ්ඩායමට එකතු වෙන්න. බොට්ස්වානා වල සෑම වසරකට වරක්ම උතුරු බොට්ස්වාන කණ්ඩායම සහ දකුණු බොට්ස්වානා කණ්ඩායම කියලා ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනාව. ඉතින් මම දකුණු බොට්ස්වාන 13න් පහළ කණ්ඩායම නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. මගේ ක්‍රිකට් වල ආරම්භය එතන තමයි. ඒ වගේම මට අවස්ථාවක්  ලැබුණා නැමීබියා වල වගේම දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරග සංචාර වලට එකතු වෙන්න. එතනින් පස්සේ මට බොට්ස්වාන 16න් පහල කණ්ඩායමට එකතු වීමට අවස්ථාවක් ලැබුණා. නමුත් හදිසියේම මගේ තාත්තගේ සේවා ස්ථානයේ සිදු වූ වෙනස්කමක් නිසා අපි 2015 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පදිංචියට ආවා. ඒ නිසා බොට්ස්වාන වල ක්‍රිකට් වලට මට තිත තියන්න සිදු වුනත් නැවතත් මම එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ක්‍රිකට් ගහන්න තීරණය කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යට ක්‍රීඩා කරලා ඔබට තැනක් ලැබේවි කියලා හිතුවද ?

ඔව් මහන්සි වෙලා පුහුණුවීම් කටයුතු කළා. මට මගේ දෙමාපියන්ගෙන් ලොකු සහයක් ලැබෙනවා ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න. අපි බොට්ස්වානා වලින් ආවට පස්සේ, කෙලින්ම එකතු වුණේ, ඩෙසර්ට් කබ් ක්‍රිකට් ඇකඩමි එකට. ඒ හරහා මට ජාතික කණ්ඩායමට එන්න ලොකු සහයක් ලැබුණා.

UAE ජාතික කණ්ඩායමට එන්න දොරටු විවර වුනේ කොහොම ද ?

ඔව් අපි UAE වලට ආවට පස්සේ මම දිගටම ඩෙසර්ට් කබ් එකත් එක්ක එකතු වෙලා පුහුණුවීම් කලා. පස්සේ එහේ UAE කණ්ඩායමට ක්‍රීඩකයන්ට තෝරන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඉතින් ඒ තරගාවලිය මාස 6ක් විතර තිබුණා. මම වේග පන්දු යවන්නෙක් විදියට තමයි කණ්ඩායමේ කටයුතු කරන්නේ. ඉතින් මට පුළුවන් වුණා ඒකේදී වේග පන්දු යවන්නෙක් විදියට වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙන්න. තරග 16ක් විතර අපි ක්‍රීඩා කළා. ඒකෙදි මට කඩුලු 20ක් ගන්න හැකියාව ලැබුණා. මම එතන දක්ෂතා දක්වපු නිසා තමයි UAE වල ජාතික කණ්ඩායම තෝරන අවසන් ක්‍රීඩකයන් 40 දෙනාගේ සංචිතයට එක් වුණේ. එතනදිත් එයාල අවසන් 15 දෙනෙකුගේ යුත් සංචිතයක් තේරුවා 2018 වසරේ පැවති ආසියානු කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලියට. ඉතින් මට අවස්ථාවක් ලැබුණා පසුගිය වසරෙත් ආසියානු යොවුන් කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන්න.

මංගල තරගාවලියේදී ම දක්ෂතා අතරට එන්න අවස්ථාවක් ලැබුණද ?

මම හිතනවා මම හොදින් කළා කියලා. නමුත් ආවාසනාවන්ත ලෙස අපි පළමු වටයේ සහභාගී වුණු මැච් 3ම පරාද වුණා. මම මුලින්ම ඇෆ්ගනිස්තානයට එරෙහිව තමයි මගේ මංගල තරගය ක්‍රීඩා කළේ.  එදා මට අමුතුම හැගීමක් දැනුනා. ඒකට හේතුව තමයි ඇෆ්ගනිස්තානය කියන්නේ ටෙස්ට් ක්‍රීඩා කරන රටක්. ඉතින් මට මංගල තරගයේදී කඩුලු ගන්න අවස්තාවක් ලැබුණේ නැහැ. නමුත් මම ඒ තරගෙදී පන්දුවාරට 4ට දුන්නේ ලකුණු 13ක් විතරයි. ඊට පස්සේ අපිට ක්‍රීඩා කරන්න ලැබුණේ ඉන්දියාව එක්ක. මම ඒ තරගෙදී ඉන්දීය නායක පවන් ශා සහ උප නායක සිම්රාස් සිං ගේ කඩුලු 2 දවා ගත්තා. නේපාලයට එරෙහිව පැවති තරගයේදීත් මට කඩුලු 2ක් ගන්න පුළුවන් වුණා.

2020 පැවැත්වෙන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සූදානම  කොහොමද ?

ඔව් කියන්න සතුටුයි. අපිට ආසියාවේ රටවල් 16ක් අතරින් ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්න පුළුවන් වුණා. අපි හිතනවා රටක් විදියට, ක්‍රීඩකයෙක් විදියට ලබන්න පුළුවන් උපරිම සතුට ඒක කියලා. ඕනම කෙනෙක් ආසාවෙන් ඉන්නවා ලෝක කුසලානයක් ක්‍රීඩා කරන්න. අපි ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න නම් අපිට ඒ තරගාවලියේ මැච් 05ම ගහන්න ඕනවෙලා තිබුණා. අපි ඒ දේ කළා. මෙවර ආසියානු තරගාවලියෙන් පස්සේ, අපේ මූලික ඉලක්කය ලෝක කුසලාන තරගාවලිය තමයි.

ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන්න පුහුණුකරුවන්ගෙන් ලැබෙන සහය කොහොමද ?

ඔව්, අද ඉන්න තැනට එන්න මට ලොකු සහයක් ලැබුණා මට ලැබුණු පුහුණුකරවනුනේ. බොට්ස්වානා වල මම ක්‍රිකට් පටන් ගන්න කොට අයිසන් කියලා දකුණු අප්‍රිකානු ගුරුවරයෙක් තමයි මගේ පළමු ගුරුවරයා වුනේ.ඒ ව‍ගේම සිම්බාබ්වේ ඒ ටීම් එකට ක්‍රීඩා කරපු රෙජී සර් සහ ට්‍රයිමෝ සර් කාලයක් මගේ  පුහුණුකරුවන් විදියට කටයුතු කළා. ඊට පස්සේ අපි UAE  ආවම අපි ඩෙසර්ට් කබ් එකට තමයි ජොයින් වුනේ. එතනදි ප්‍රෙස්ලි පොලොන්නවිට සර්, කේ ජී ප්‍රියන්ත සර්, අජිත් වීරක්කොඩි සර් වගේම අරුණ බණ්ඩාරණායක සර් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා මම අද ඉන්න මේ තැනට එන්න. ඒ වගේම ඩෙසර්ට් කබ් එකේ අනෙකුත් සියලුම කෝචර්ස්ලටත් ස්තූති වන්ත වෙනවා මට මේ ලබාදෙන සහයෝගයට. සාමන්‍යෙයන් බෝලින් සෙෂන්ස් එකකදී බැටින් කරන්න ඉඩ ලැබෙනවා අඩුයි. නමුත් මට පෞද්ගලිකව බැටින් පැත්තත් පුරුදු වෙන්න කීර්ති ද සිල්වාගෙන් ලොකු සහයක් ලැබෙනවා. ඒ සියල්ලම මේ වේලාවේ ආදරයෙන් මතක් කරනවා.

UAE වල ඔබ සමග ක්‍රීඩා කරන තවත් ලංකාවේ ක්‍රීඩකයන් ඉන්නවද ?

ඔව් මාත් එක්කම 2018 වසරේදී ඩෙසර්ට් කබ් එකට ක්‍රීඩාකලා චේතිය බණ්ඩාර කියලා කෙනෙක්. අපි දෙන්නම වමත් පන්දු යවන්නන්. අපි දෙන්නා තමයි ආරම්භක පන්දු යවන්නන් විදියට කටයුතු කළේ. ඉතින් ඔහුත් හොඳටම දක්ෂතා දැක්වූවා පසුගිය කාලේ තිබුණු තරගාවලි කිහිපයේදීම. නමුත් ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ ජාතික කණ්ඩායමට එක්වෙන්න.

ක්‍රිකට් සමග අධ්‍යාපනය සමබරව කරගෙන යන්නේ කොහාමද ?

ඔව් මම අධ්‍යාපන කටයුතුත් බාධාවක් නැතුව කරගෙන ගියා. මේ වසරේ තමයි උසස් අධ්‍යාපනය සඳහා පෙනී සිටයේ. එහිදී මට හොඳ ප්‍රතිඵල ගන්න පුඵවන් වුණා. පසුගිය කාල වකවානුව තුළදීම  ක්‍රිකට් තරග වලට සහභාගී වුනු නිසා අධ්‍යාපන කටයුතු තරමක් මග හැරුණා. නමුත් ක්‍රීඩාව කියන දේ අධ්‍යාපනයට බාධාවක් කරගත්තේ නැහැ.

ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මගේ මේ වේලාවේ ලොකුම ටාගට් එක 2020 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය.එතනින් පස්සේ මට ලොකු ආසාවක් තියෙනවා ශ්‍රී ලංකාවට ඇවිත් අවුරුදු 23න් පහළ ඒ කාණ්ඩයේ තරගාවලියක් ක්‍රීඩා කරලා බලන්න. මම හිතනවා මට මෙහේ යමක් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම මට චමින්ද වාස් සර් ගොඩක් උදව් කළා මගේ ඇක්ෂන් එක තරමක් වෙනස් කර ගන්න. රොමේෂ් රත්නායක සර් මට ලොකු සහයක් ලබාදුන්නා. ඉතින් ඒ දේවල් එක්ක ක්‍රිකට් වලින් වගේම අධ්‍යාපන කටයුතු වලිනුත් ඉස්සරට යන්න තමයි බලාපොරොත්තුව.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.