ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මළල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ පැවති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරගාවලිය අද ( 12 ) කොළඹ සුගතදාස එළිමහන් ක්‍රීඩා පිටියේදී නිමාවට පත්වූයේ බාලක අංශයේ සමස්ත ශූරතාවය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයත්, බාලිකා අංශයේ සමස්ත ශූරතාවය වලල ඒ රත්නායක විද්‍යාලයත් දිනා ගනිමිනි.
කොළඹ ශාන්ත පීතර විද්‍යාලය සමස්ත ලකුණු 171ක් ලබා ගනිමින් පළමු තැනට පත්වෙද්දී, ඔවුන්ට තරගයක් දුන් මීගමුව ශාන්ත බෙනඩික් විද්‍යාලය ලකුණු 95ක් ලබා ගනිමින් අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.
තරගාවලියේ වැඩිම වාර්තා සංඛ්‍යාවකට හිමිකම් කියූ වලල ඒ රත්නායක විද්‍යාලය කාන්තා අංශයේ නව තරග වාර්තා 4ක් පිහිටුවමින් ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ සමස්ත ලකුණු 304ක් හිමි කරගනිමිනි. ඔවුන්ට තරමක හෝ අභියෝගයක් බවට පත් වූ ගම්පහ සිරිකුරුස විද්‍යාලය සමස්ත ලකුණු 100ක් හිමිකරමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
දින 3ක් පුරා පැවති මෙවර තරගිවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව තරග වාර්තා 15ක් පිහිටු වීමට සමත් වූහ. එයින් තරග වාර්තා 5ක් බාලක අංශය සතු වෙද්දී, බාලිකාවන් නව තරග වාර්තා 10ක් පිහිටු වීමට සමත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හලාවත ශාන්ත මේරි විද්‍යලයේ චමෝද් යෝධසිංහ දිනා ගැනීමට සමත් වූයේ මෙවර තරගාවලියේ අවුරුදු 20න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.43ක දක්ෂතාවයක් පෙන්නුම් කරමිනි. රාජගිරිය ගේට්වේ විද්‍යාලයේ ශෙලින්ඩා ජැන්සන් බාලිකා මීටර් 200 තරග ඉසව්ව තත්පර 24.69කින් අවසන් කරමින් මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූවාය.
තරගාවලියේ දෙවැනි අදියර ලෙස කණිෂ්ඨ ක්‍රීඩකයන්ගේ තරගාවලිය නොවැම්බර් මස 8,9 සහ 10 යන දිනයන්හිදී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
නව තරග වාර්තා
බාලක අංශය
- වයස 16න් පහළ මීටර 400 කඩුලු මතින් දිවීම – තත්පර 53.76කින් අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ විනෝද් ආරියවංශ සමත් විය.
- වයස 18න් පහළ මීටර 200 – තත්පර 21.87කින් අවසන් කරමින් නව තරග වාර්තව පිහිටුවීමට කොළඹ ලුම්බිණි විද්‍යාලයේ චලිත් පියුමාල් සමත් විය.
- වයස 18න් පහළ මීටර 110 – තත්පර 13.93කින් අවසන් කරමින් නව තරග වාර්තව පිහිටුවීමට කොළඹ රාජකීය විද්‍යාලයේ නදුන් කවීශ බණ්ඩාර සමත් විය.
- වයස 18න් පහළ මීටර 400 – තත්පර 48.01 කින් අවසන් කරමින් නව තරග වාර්තව පිහිටුවීමට ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිශ්ක සන්දේශ් සමත් විය.
- වයස 18න් පහළ කවපෙත්ත විසි කිරීම – මීටර 48.00 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි නව තරග වාර්තාව පිහිටුවීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග සමත් විය.
බාලිකා අංශය
- වයස 16න් පහළ මීටර 800 – විනාඩි 2:17.43 කින් අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට වලල ඒ රත්නායක විද්‍යාලයේ ටී.ඩී කරුණාරත්න සමත් වූවාය.
- වයස 16න් පහළ මීටර 400 කඩුලු මතින් දිවිම – විනාඩි 1:05.9 කින් අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට වලල ඒ රත්නායක විද්‍යාලයේ සඳුනි ලක්ෂානි සමත් වූවාය.
- වයස 16න් පහළ කවපෙත්ත විසි කිරීම – මීටර 33.14 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ නිසුලි සාවින්දි සමත් වූවාය.
- වයස 18න් පහළ මීටර 800 – විනාඩි 2:13.26 කින් අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට ශානිකා ලක්ෂානි සමත් වූවාය.
- 18න් පහළ කවපෙත්ත විසි කිරීම – මීටර 38.16ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට කදාන සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ හේෂානි මහේෂිකා සමත් වූවාය.
- 18න් පහළ මීටර 100 – තත්පර 14.63 කින් අවසන් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සෙනුරි අනුත්තරා සමත් වූවාය.
- වයස 18න් පහළ යගුලිය විසි කිරීම – මීටර 14.14 ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට කොළඹ බීශොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රෙස්කර සමත් වූවාය.
- වයස 18න් පහළ හෙල්ල විසි කිරීම – මීටර 46.97 දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරග වාර්තාව පිහිටුවීමට වලල ඒ රත්නායක විද්‍යාලයේ හසන්ති සමත් වූවාය.
- වයස 16න් පහළ මීටර 400 * 4 – විනාඩි 4:02.79 කින් අවසන් කරමින් නව වාර්තාව පිහිටුවීමට වලල ර් රත්නායක විද්‍යාල කණ්ඩායම සමත් විය.
Be the first to comment