නුවන් ප්‍රදීප්ගේ සහ ඉසුරු උදානගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සත්කාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පළමු විස්සයි 20 තරගයෙන් ලකුණු 64 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (05 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 17.4 කදී සියලු දෙනාදැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 101ක් පමණි.
පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඉෆ්තිකර් අහමඩ් ලකුණු 25ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුකර ගැනිමට ඉසුරු උදාන සහ දසුන් ශානක කටුයුතු කළහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ඉසුරු උදාන ලකුණු 11කට කඩුලු 3ක් සහ නුවන් ප්‍රදීප් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලද්දී, ඔවන්ට අනගි සහයක් ලබාදුන් වනිදු හසරංග ලකුණු 20කට කඩුලු 2 ක් බිද හෙලීය.
කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරධනා කළසිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 165 ක් රැස් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල සඳහා ලකුණු 84ක විශිෂ්ඨ සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.
තම විස්සයි 20 පිටියේ පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ ධනුෂ්ක ගුණතිලක පන්දු 38කදී හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.
තම මංගල විස්සයි 20 වරම් දිනාගත් භානුක රාජපක්ෂ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 22කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 2ක් සමගින් ලකුණු 32ක් රැස් කිරීමට සමත් විය. අවිශ්ක ප්‍රනාන්දු තරමක මන්දගාමි ඉනිමක් ක්‍රීඩා කළ ද ධනුෂ්ක ගුණතිලකට සහ භානුක රාජපක්ෂට විශාල සහයෝගයක් ලබා දෙමින් ලකුණු 33ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය මොහොතේ පිත්තෙන් දස්කම් දක්වමිනි.
අවසන් පන්දුවාර කිහිපය තුළදී පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 10 කදී හයේ පහර 2ක් සමගින් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 150 සීමාවෙන් ඔබ්බට ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දෙමිනි.
පන්දු යැවීමේදී මොහොමඩ් හස්නෙයින් ලකුණු 37 ට කඩුලු 3ක් බිද හෙලමින් පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත විය.
ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 165
( ධනුෂ්ක ගුණතිලක 57, අවිශ්ක ප්‍රනාන්දු 33, භානුක රාජපක්ෂ 32, දසුන් ශානක 17, මොහොමඩ් හස්නෙයින් 37/3 )
පාකිස්තාන කණ්ඩායම – පන්දුවාර 17.4 කදී සියලු දෙනා දැවී ලකුණු 101
( සෆ්රාස් අහමඩ් 24, ඉෆ්තිකර් අහමඩ් 25, ඉසුරු උදාන 11/3, නුවන් ප්‍රදීප් 21/3, වනිදු හසරංග 20/2 )
——————————————————————————————————————–
භානුකලා දෙදෙනෙක් සමග ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙයි
පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි 20 වරම් දිනා ගැනීමට භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක අද ( 05 ) සමත් වූහ.
ඒ අනුව කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායක සෆ්රාස් අහමඩ් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
එක්දින තරගාවලියේ දක්ෂකා අතර සිටි පාකිස්තාන ක්‍රීඩක ෆකාර් සමාන් මෙම තරගයට එක්කොට නොමැති අතර, උමර් අක්මාල් සහ අහමඩ් ෂෙශාඩ් කණ්ඩායමට කැදවීමට පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක ( නායක ), අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, වනිදු හසරංග, කසුන් රාජිත, නුවන් ප්‍රදීප්
පාකිස්තාන කණ්ඩායම – සෆ්රාස් අහමඩ් ( නායක ), අහමඩ් ෂෙශාඩ්, බාබර් අසාම්, උමර් අක්මාල්, අසිෆ් අලී, ඉෆ්තිකර් අහමඩ්, ඉමාඩ් වසීම්, ෆහීම් අශ්රාෆ්, ශඩාබ් ඛාන්, මොහොමඩ් අමීර්, මොහොමඩ් හස්නෙයින්
Be the first to comment