පාකිස්තානයට නොගිය 10න් 4ක් ඕස්ට්‍රේලියා ගමනට කැඳවයි – නායකත්වය සුපුරුදු පරිදි මාලිංගට

පාකිස්තාන සංචාරයට එක් නොවූ නායක ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා , නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඕස්ට්‍රේලියාවට එරෙහිව මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය සංචාරය ප්‍රතික්ෂේප කළහ. කුසල් මෙන්ඩිස් නවසීලන්තයට එරෙහිව පැවති අවසන් විස්සයි 20 තරගයේදී ආබාධයට ලක්වූ හෙයින් පාකිස්තාන සංචාරය සඳහා එක්වීමට අවස්ථාවක් හිමි නොවීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් 10 දෙනෙකුම පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීමත් සමග ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්ටත්, විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. ඒ අනුව එක්දින තරගාවලිය තරග 2 -0 කින් ශ්‍රී ලංකාව පරාජය වුවද, විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.

ඒ අනුව පාකිස්තාන සංචාරයේදී දක්ෂතා දැක්වූ ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, වනිදු හසරංග සහ දසුන් ශානකට ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලියේ ද තමන්ගේ ස්ථානය ආරක්ෂා කර ගැනීමට අවස්ථාව හිමි වූහ. එයට අමතරව පාකිස්තාන සංචාරයට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, නුවන් ප්‍රදීප්, ලහිරු කුමාර, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදානටද කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ.

එහෙත් පාකිස්තාන සංචාරයට එක් වූ කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවිකුම සහ මිනෝද් භානුකට කණ්ඩායමේ ස්ථානය අහිමිව ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුෂංක සහ මැද පෙළ පිතිකරු ඇන්ජලෝ පෙරේරාටද කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

විස්සයි 20 අංශයේ ප්‍රබලයෙකු වන තිසර පෙරේරාට කණ්ඩායමේ ස්ථානයක් හිමිව නොමැති අතර ඔහු පාකිස්තාන සංචාරයට එක්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටියද, ඔහු එය ප්‍රතික්ෂේප කළේය. මේ හේතුවෙන් පාකිස්කාන සංචාරයට එක් වූ නවක ක්‍රීඩකයන් දක්ෂතා අතරට පැමිණිමත් සමග තිසර පෙරේරාට විස්සයි 20 කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිවුස්ටද කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රෙලියාව අතර පළමු විස්සයි 20 තරගය මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.