හරින්ට -සුමතිපාලගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට සහභාගි වීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමාට එරෙහිව නිකුත් කර ඇති නියෝගය දේශපාලනය මත පදනම් ව ගත් තීරණයක් ලෙස දකින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල පවසයි.

“බිස්නස් එක අතට ගන්නනේ ඕක කරන්නේ. අපි බලමු,” ඒ පිළිබඳව විමසූ විට තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවයට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම් සහ අනෙකුත් නිලධාරීන් වෙත ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත්කරන ලද විශේෂ නියෝගයේ දැක්වෙන්නේ, ඔහු විසින් 2019.09.09 වෙනිදා පත්කරන ලද පරීක්ෂණ කමිටුවේ වාර්තාවේ සඳහන් “නිර්දේශ ප්‍රවේසමෙන් සැලකිල්ලට ගෙන” ඉහත තීරණයට එළැඹි බවය.

එම විශේෂ නියෝගය ඔක්තෝබර් මස 11 වෙනිදා නිකුත් කර තිබුණි.

“මම මේ සමග ඔබට නියෝග කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රැස්වීම් සඳහා සහභාගී වීම, කමිටු සඳහා එක්වීම, ඡන්දය පාවිච්චි කිරීම, කිසිදු ආකාරයේ බලයක් පාවිච්චි කිරීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලතල දරන්නෙකු ලෙස හෝ හිටපු සභාපතිවරයා ලෙස හෝ ගරු තිලංග සුමතිපාල සහභාගී වීම වළකන ලෙසය,” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ එම ලිපියේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කිහිපවරක් කටයුතු කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලට එරෙහිව ඉහත සඳහන් පරීක්ෂණය ආරම්භ කෙරුණේ පිළියන්දල නගර ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් අනුවය.

එම පැමිණිල්ලේ සඳහන් වූයේ තිලංග සුමතිපාල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීම අංක 2137/85 දරණ අති විශේෂ ගැසට් පත්‍රය උල්ලංඝනය කිරීමක් බවය.

බී .බී.සී. සිංහල

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.