බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වූ අද ( 25 ) දිනයේ පැවති පිරිමි දුර පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ගියවර සිව්වන ස්ථානය දිනූ ඌව පළාතේ ගයාන් සම්පත් සමත් විය. ඔහු එහිදී මීටර 7.34ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් මෙවර රන් පදක්කම දිනා ගත්තේය.
එම තරග ඉසව්වේම ගියවර රිදී පදක්කම දිනාගත් උතුරු නැගෙනහිර පළාතේ අමිල ජයසිරිට මෙවරද රිදී පදක්කමෙන් ද සෑහීමට පත්වීමට සිදු වූ අතර, ඔහු එහිදී මීටර 7.32ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් විය. මීටර 7.29ක දක්ෂතාවයක් පෙන්නුම් කළ උතුරු නැගෙනහිර පළාතේ කේ.කේ කරුණසේකර ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
ජාතික මහ ක්‍රීඩා උළෙලක පෞද්ගලික හොඳම දක්ෂතාවය පෙන්නුම් කරමින් මිටිය විසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමට දකුණු පළාත නියෝජනය කළ සිසිර කුමාර සමත් විය. ඔහු එහිදී 47.67ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර මීට පෙර ඔහුගේ හොඳම දක්ෂතාවය ලෙස සටහන්ව තිබුණේ මීටර 46.49 ක් ලෙසිනි.
සබරගමු පළාත නියෝජනය කරමින් තරගාවලියට එක් වූ ඩී . එම් ධර්මසේන මීටර 45.74ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එස්. ආර් කුමාරසිරි විසින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
අද උදෑසන පැවති කාන්තා යගුලිය විසි කිරීම කාන්තා තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනිමට මධ්‍යම පළාතේ නදීකා මුතුනායක සමත් වූ අතර ඇය එහිදී මීටර 12.19ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් වූවාය.
ඇයට කරට කර තරගයක් ලබාදුන් දකුණු පළාතේ ප්‍රියංගිකා කුමාරි මීටර 12.08ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් රිදී පදක්කම දිනා ගනිද්දී, ඌව පළාතේ පී.පී. එස් ක්ලැරන්ස් මීටර 11.37ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
දකුණු පළාතේ කේ . සී එල් මෙන්ඩිස් දෙවැනි තැනට ඇද දමමින් පළමු වරට ජාතික මහ ක්‍රීඩා උළෙලක උස පැනමේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරා විසින් සමත් විය. ඔහු එහිදී මීටර 2.12ක දක්ෂතාවයක් පෙන්නුම් කිරීමට සමත් විය. වසර 18 කාලයක් තිස්සේ, ජාතික මහ ක්‍රීඩා උළෙලේ උස පැනීමේ ශූරයා බවට පත් වූ මංජුල කුමාර මෙවර තරගාවලිය නියෝජනය නොකළේය.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත අවසන් තරග
ප.ව 5.00 – කවපෙත්ත විසි කිරීම ( පිරිමි ) අවසන් තරග
ප.ව 5.00 – මීටර 400 කඩුලු මතින් දිවිම ( කාන්තා ) අවසන් තරග
ප.ව 5.15 – මීටර 400 කඩුලු මතින් දිවීම ( පිරිමි ) අවසන් තරග
ප.ව 5.30 – මීටර 200 ( කාන්තා ) අවසන් තරග
ප.ව 5.40 – මීටර 200 ( පිරිමි ) අවසන් තරග
ප.ව 5.50 – මීටර 10 000 ( පිරිමි ) අවසන් තරග
ප.ව 6.50 – මීටර 5000 ( කාන්තා ) අවසන් තරග
ප.ව 7.15 – පාපාන්දු ( කාන්තා ) අවසන් මහ තරගය
ජායාරූප – ක්‍රීඩා අමාත්‍යංශයෙනි
Be the first to comment