ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සහ පාකිස්තාන ඊගල් කණ්ඩායම අතර පැවැත්වෙන කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට ( 27 ) කොරියාවේ ඉන්චොන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙ.ව 10.00 ට ආරම්භ වීමට නියමිතය.
සෑම වසරක පවත්වනු ලබන මෙම කොරියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඇතිව පවත්වනු ලබන ක්‍රිකට් තරගාවලියකි.
ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ සිව්වන අවස්ථාව මෙය වන අතර, පසුගිය වසරේද ඔවුන් ජයග්‍රාහී කණ්ඩායම බවට පත්විය. මෙවර ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායමේ නායකත්වය ටල්සන් රත්නපාලට හිමිව ඇති අතර, කණ්ඩායමේ උප නායකයා ලෙසින් කටයුතු කරනු ලබන්නේ ඒ.කේ දමිත් විසිනි.
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ, කොරියාවේ සේවයේ නියතු විදෙස් ක්‍රීඩකයන් එක්ව මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමය. ඒ අනුව පළමු වටය සඳහා කණ්ඩායම් 8ක් ඉදිරිපත් වුවද, සෑම කණ්ඩායමක්ම ප්‍රතිවාදී කණ්ඩායම් 5ක් සමගින් පළමු වටයේ තරග වදිනු ලැබීය.
ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම පළමු වටයේදී කොරියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම, කොරියානු සල්මි ක්‍රිකට් කන්ඩායම, පාකිස්තානු වෝරියස් සහ බංග්ලාදේශ රයිඩර්ස්ට එරෙහිව සිය ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.
මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම නියෝජනය කරන දිලීප මෙන්ඩිස් ලකුණු 208ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවන අතර වැඩිම කඩුලු ලාභීන් අතර ඒ.කේ දමිත් පෙරමුණ ගෙන සිටියි. ඔහු එහිදී බිද හෙලා ඇති සමස්ත කඩුලු සංඛ්‍යාව 14 කි.
Be the first to comment