ඕස්ට්‍රේලියාව තරග 3 – 0 කින් ශ්‍රී ලංකාව පරදයි – තරගාවලියේ වීරයා සම්මානය වෝනර්ට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති තෙවැනි සහ අවසන් විස්සයි 20 තරගයෙන් කඩුලු 7ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රෙලියානු කණ්ඩායම අද ( 1 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත වූ විස්සයි 20 තරගාවලිය තරග 3 – 0 කින් ජය ගැනීමට ඕස්ට්‍රෙලියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 143ක ඉලක්කය හඹාගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17.4 කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය.

තරගාවලිය පුරාවටම දක්ෂතා අතර සිටි ඩේවිඩ් වෝනර් මෙම තරගයේදී ද පන්දු 50කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩාම ජයග්‍රහණය වෙත රැගෙන යමිනි.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසාකයේ කඩුලු 6කට ලකුණු 142ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 45කදී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක්, රිචඩ්සන් සහ පැට් කමින්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

තරගාවලිය පුරාවට පිත්තෙන් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු  ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 කදී කඩුලු 6කට ලකුණු 142

( කුසල් ජනිත් 57, අවිශ්ක ප්‍රනාන්දු 20, භානුක රාජපක්ෂ නොදැවී 17 , පැට් කමින්ස් 23/2, රිචඩ්සන් 25/2, මිචෙල් ස්ටාක් 32/2 )

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – පන්දුවාර 17.4 කදී කඩුලු 3කට ලකුණු 145

( ඩේවිඩ් වෝනර් නොදැවි 57, ඇරෝන් ෆින්ච් 37, ඇෂ්ටන් ටර්නර් නොදැවී 22 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.