යෝගා දිවියේ අවසන් කඩුල්ල තරණය කරයි.

ශ්‍රී ලංකාවේ ජෙෂ්ටතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ යෝගානන්ද විජේසුන්දර අද (14) උදැසන සිය ජිවන ගමනට සමු දුන්නේය.

දිවියෙන් සමුගන්නා විට හෙතෙම 75 වියෙහි පසුවිය.

යෝගා යන නමින් ක්‍රීඩා ක්ෂේත්‍රයේ බොහෝ පිරිස් අතර ජනප්‍රිය චරිතයක් වූ හෙතෙම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස ගෞරවනීය නාමයක් හිමිකර ගත් සහ ක්‍රීඩාව පිළිබඳව හසල දැනුම් සම්භාරයකින් පිරිපුන් තැනැත්තෙක් විය .

ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ වොලිබෝල් සහ මලල ක්‍රීඩකයෙක්වූ යෝගානන්ද මීටර 110 කඩුලු  ඉසව්වෙන් 1970දී ජාතික ශූරයා බවට පත්විය. 1980දී බණ්ඩාරවෙල ක්‍රීඩා නිලධාරියා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවයට එක්වූ හෙතෙම එම වසරේදී ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ජයග්‍රහණය බදුල්ල දිස්ත්‍රික්කයට දිනාදීමට පුරෝගාමී මෙහෙවරක නිරත විය.

Image may contain: 11 people, people smiling

සෑම විටම ඔහුගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කර නිවැරදි දේ ඉටුකළ යෝගානන්ද විජේසුන්දර මෙරට බිහිවූ ප්‍රමුඛ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ මුල් පුහුණුකරු ලෙසද කටයුතු කළේය.

1982දී නැඟෙනහිර ජර්මනියේ ක්‍රීඩා උපාධිය හදාරා පසුව ක්‍රීඩා පාසලේ කතිකාචාර්යවරයකු ලෙස එක්වූ යෝගානන්ද විජේසුන්දර ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා විය.

සර 2003දී ජාතික ක්‍රීඩා විද්‍යාතනයෙන් විශ්‍රාම යනතුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුනුකරුවන්ගේ ක්‍රීඩා දැනුම වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රීඩා විෂයයන් ප්‍රගුණ කිරීම සඳහා විවිධ පාඨමාලා හදුන්වාදීමේ පුරෝගාමියෙක් ද විය.

Image may contain: 4 people, people smiling, people standing and outdoor

ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කර දුන් ධම්මිකා මැණිකේ (මැදි දුර), ජයමිනි ඉලේපෙරුම (කෙටිදුර), තිලකා ජිනදාස (කඩුලු ), දිලීමා පීටර්සන් (දුර පැනීම), මංජුල රාජකරුණා (කඩුලු), පද්ම කුමාර අමරසේකර (කෙටිදුර), රවින්ද්‍ර කුමාර ප්‍රනාන්දු (කෙටිදුර), කේ.ඒ. කරුණාරත්න (මැරතන්) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු බොහෝ දෙනකුගේ පුහුණුකරු විය.

ඔහු ශ්‍රී ලංකා ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලෙසත් සේවය කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.