නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ඕමාන් නැගී එන කණ්ඩායම අද ( 14 ) සමත් විය. ඒ කාණ්ඩයේ තරගයක් වූ මෙය බංග්ලාදේශයේ ෂෙයික් කමල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 269ක ඉලක්කය හඹාගිය ඕමාන් කණ්ඩායම පන්දුවාර 48.5 කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ජතින්ද්‍ර සිං පන්දු 150කදී හයේ පහරත් සහ හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 131ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි. ඔහුට අනගි සහයක් ලබාදුන් කඩුලු රකින ක්‍රීඩක සුරාජ් කුමාර් පන්දු 77කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 70ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී අමිල අපොන්සු ලකුණු 40කට කඩුලු 3ක් බිද හෙලද්දී, අසිත ප්‍රනාන්දු සහ කළණ පෙරේරා අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.
කාසියේ වාසිය දිනු ඕමාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටි අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 268ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අශේන් බණ්ඩාර පන්දු 51කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 62ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් චරිත් අසලංක නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී මොහොමඩ් සනුත් ලකුණු 41කට කඩුලු 3ක් සහ ජේ ඔඩෙඩ්‍රා ලකුණු 52කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.
Be the first to comment