T10 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවති දිල්ලි බල්බ්ස් සහ ඩෙකෑන් ග්ලැඩියර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුතු දිල්ලි බල්බ්ස් කණ්ඩායම අද ( 15 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 103ක ඉලක්කය හඹාගිය දිල්ලි බල්බ්ස් කණ්ඩායම පන්දුවාර 9.3 කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.
නායකත්ව ඉනිමක් ක්‍රීඩාකළ ඔයින් මෝගන් පන්දු 27කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවි ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් ඇන්ජලෝ මැතිවුස් පන්දු 13කදී හයේ පහරක් සහ හතරේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 22ක් රැස් කිරීමට සමත් වූයේ ජයග්‍රහණයට මනා දායකත්වයක් ලබා දෙමිනි.
ෂේන් වොට්සන් පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගි කරගනිමින් තරගයට අවතීර්ණ වුවද, සහීර් ඛාන් හැරෙන්න සෙසු පන්දු යවන්නන් සියල්ලටම පහර පිට පහර එල්ල කිරීමට මෝගන් සහ මැතිවුස් සමත් වූහ. එහිදී දිල්හි බල්බ්ස් කණ්ඩායමේ බිද වැටුණු කඩුලු 3ම දවා ගැනීමට සහීර් ඛාන් සමත් විය.
දිල්ලි බල්බ්ස් නායකයාගේ ඇරයුමින් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩෙකෑන් ග්ලැඩියර්ස් කන්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ රැස්කර ගතහැකි වූයේ ලකුණු 102ක් පමනි.
නායකයෙකුගේ වගකීම මනාව ඉටුකළ ෂේන් වොට්සන් පන්දු 31කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වුවද එය ජයග්‍රහණය රදවා ගැනීමට තරම් ප්‍රමණවත් නොවීය.
Be the first to comment