13 වැනි සාග් ක්රීඩා උළෙලේ රිදී පදක්කම් දිනාගත් ශ්රී ලංකා වොලිබෝල් ක්රීඩක ක්රීඩිකාවන්ට මෙවර එම පදක්කම රැක ගැනීමේ අවස්ථාව අහිමිවිය.
සාග් ක්රීඩා ඉසව් ආරම්භ කරමින් රටවල් 6ක සහභාගිත්වයෙන් පැවැති වොලිබෝල් ඉසව්වේ පළමු අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව හමුවේ ප්රබල සටනකින් අනතුරුව ශ්රී ලංකා කණ්ඩායම 3-1කින් පරාජයට පත්විය. ඉතා උණුසුම් මුහුණුවරක ගත් තරගයේ පළමු වටය 27-25ක් ලෙස නිමාවූ අතර දෙවැනි වටයට 25-19ක් විය. ශ්රී ලංකාව තෙවැනි වටය ජය ගත්තේ 25-21ක් ලෙසිනි. අවසන් වටය 25-21කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගාවලියේ මූලික වටයේදී මාලදිවයින 3-0කින් පරාජයට පත්කළ ශ්රී ලංකා ක්රීඩකයෝ පාකිස්තානය හමුවේ 3-1කින් පරාජයට පත්විය. ඒ සමගින් ශ්රී ලංකාව අද (2) බංග්ලාදේශය සමගින් ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට නියමිතය.
කාන්තා අවසන් පූර්ව තරගයේදී සත්කාරක නේපාල කණ්ඩායම හමුවේ වට 3-0ක පරාජයක් විද ගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන්ට සිදුවිය. අවසන් වරට පැවැති සාග් ක්රීඩා උළෙලේ රිදී පදක්කම දිනාගත් ශ්රී ලංකා කාන්තා පිල සාග් ක්රීඩා උළෙලේදී නේපාලය හමුවේ පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය විය. තරගයේ මුල් වට දෙකේදී දුර්වල ක්රීඩා විලාශයක් පෙන්නුම් කළ ශ්රී ලංකා ක්රීඩිකාවෝ එම වට දෙක පරාජයට පත්වූයේ 25-14ක් සහ 25-18ක් ලෙසිනි. තෙවැනි වටය 25-21ක් ලෙස නිමාවට පත්විය.
මේ සමගින් රන් හෝ රිදී දිනා ගැනීම සඳහා පැවැත්වෙන අවසන් තරගය ශ්රී ලංකාවට අහිමිවූ අතර මාලදිවයින සමගින් ලෝකඩ පදක්කම සඳහා අද (2) තරග වැදීමට නියමිතය. කෙසේ වෙතත් තරගාවලියේ මූලික වටයේදී මාලදිවයින් කණ්ඩායම ශ්රී ලංකාව හමුවේ වට 3-0කින් පරාජයට පත්ව තිබිණි
Be the first to comment