දකුණු ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් මාලදිවයින කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි 20 තරගයෙන් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් ලැබීමට සත්කාරක නේපාල් කාන්තා කණ්ඩායම අද ( 02 ) සමත් විය.
කාසියේ වාසිය ජයග්රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් මාලදිවයින කාන්තා කණ්ඩායම පන්දුවාර 10.1 කදී ලකුණු 16කට සීමා කිරීමට අංජලී චාන්ද් ප්රමුඛ නේපාල් පන්දු යවන්නියෝ සමත් වූහ.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අංජලී චාන්ද් පන්දුවාර 2.1 කදී ප්රතිවාදීන්ට එකඳු ලකුණක්වත් ලබා නොදෙමින් කඩුලු 6ක් දවැ ගැනීමට සමත් වූයේ විස්සයි 20 ක්රිකට් පිටියේ එවන් දක්ෂතාවක් පෙන්නුම් කළ පළමු පන්දු යවන්නිය බවට පත් වෙමිනි.
මාලදිවයිනේ කණ්ඩායමේ එක් පිතිකාරිණියකටවත් ලකුණු 10 සීමාව පසුකර යාමට අවස්ථාවක් හිමි නොවූ අතර, වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වූ හම්සා නියාස් ලකුණු 9ක් රැස් කිරීමට සමත් විය. මෙහිදී පිතිකාරිණියන් 8 දෙනෙකුම ලකුණු නොලබා දැවීයාම විශේෂත්වයකි.
ජයග්රහණය සඳහ ලකුණු 17ක ඉලක්කය හඹාගිය නේපාල් කාන්තා කණ්ඩායම පන්දු 5කදී කිසිවෙකු නොදැවි සිය ඉලක්කය පහසුවෙන්ම පසුකර යමින් තරගය කඩුලු 10 කින්ම ජය ගැනීමට සමත් විය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අංජලී චාන්ද් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවාය.
Be the first to comment