වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන තරගාවලියට ප්‍රබල කණ්ඩායම් 32ක්

රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල කණ්ඩායම් එකිනෙකා හමුවන ක්‍රීඩා සමාජ 32 වටය මේ මාසයේදී ආරම්භ වෙයි. ක්‍රීඩා සමාජ 32 වටය සඳහා තරග කාල සටහනේ කුසපත් ඇදීම පාපන්දු නිවහනේ සිදු කෙරුණු අතර කණ්ඩායම් 16ක් අතර පෙර අර්ධ අවසන් පූර්ව වටයේ කුසපත් ඇදීම හා තරග කාල සටහන සකස් කිරීම මේ මස 17 වැනිදා සිදු කිරීමට නියමිතය.

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් අට අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජනවාරි 11 හා 12 පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග ජනවාරි ජනවාරි 18 හා 19 අතර පැවැත්වේ. පාපන්දු ලීග් 63ක, ක්‍රීඩා සමාජ 827ක් තරග කළ මෙම තරගාවලියේ අවසන් මසහා තරගය ජනවාරි 24 වැනිදා කොළඹදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ දිස්ත්‍රික් තරග වටය පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භවූ අතර කලාපීය තරග වටය මැයි මාසයේ සිට පැවැත්වුණි. අවසන් වටය අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණද ආරක්ෂක හේතූන් මත එය කල් දැමීමට සිදුවිය.

එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියට ඊබෝනි හෝල්ඩිංග්ස් ‘වැන්ටේජ්‘ අනුග්‍රහය පිරිනැමෙන අතර ජයග්‍රාහකයින්ට රුපියල් ලක්ෂ 7.5 ක් හා අනු ශූරයින්ට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා ඇත. එයට අමතරව වැඩිම ගෝල් වාර්තා කළ ක්‍රීඩකයා, දක්ෂතම ගෝල් කීපර් ඇතුලු විවිධ අංශවලින් දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ට තෑගි හා සම්මාන ප්‍රදානය කිරීමටද සූදානමින් සිටී.

“ එෆ්. ඒ . කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32 වටයේ සිට ඉතා උණුසුම් හා සටන්කාමී තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි. අපේ රටේ පාපන්දු ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගැනීම සදහා අපගේ සම්පූර්ණ සහයෝගය හිමි වෙනවා. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය ඉතා වදගත්වන නිසා අප අනුග්‍රහය දැක්වීමට තීරණය කළා. පසුගිය වසරේදීත් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියට අප අනුග්‍රහය ලබා දුන්නා. අපේ ආයතනය ප්‍රධාන පෙළේ සමාගමක් ලෙස තරුණයන් අතර ඉතා ජනප්‍රියයි. මේ තරුණයන්ගේ ක්‍රීඩාවේ දියුණුවට අප ඉතා කැමැත්තෙන් සහයෝගය ලබා දෙනවා“ ඊබෝනි හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ වෙළඳ කළමනාකරු මොහොමඩ් මුෂීප් මහතා පැවැසීය.

“පසුගිය වසරේදී ඊබෝනි හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගම එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය සදහා අනුග්‍රහය දැක්වීම ක්‍රීඩාවේ දියුණුවට විශාල සහයෝගයක් වුණා. රටපුරා ලීග් මෙම තරගාවලිවයට සම්බන්ධවීමෙන් පාපන්දු ක්‍රීඩාවේ විශාල පිබිදීමක් ඇති වෙනවා“ පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසීය.

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් ක්‍රීඩා සමාජ 32 ට සුදුසුකම් ලැබූ සියලුම ක්‍රීඩා සමාජවලට පාපන්දු 5 බැගින් පිරිනමන බව පාපන්දු සම්මේලනයේ ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසීය. අවසන් වටයේ තරග සඳහා කැළණිය, බැද්දගාන, අනුරාධපුර, පොළොන්නරුව, මාතර, පුත්තලම හා කලුතර ප්‍රදේශවල ක්‍රීඩාංගණ සූදානම් බව ද පාපන්දු සම්මේලනයේ ලේකම්වරයා පැවැසීය.

වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාව දිනාගත් අතර අනු ශූරතාව සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට හිමි විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.