කුරුණෑගල පාසල් කණ්ඩායමට ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව

ඩයලොග් අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය සංවිධාන කළ ඩයලොග් ජාතික කණිෂ්ඨ නෙට්බෝල් ශූරතාව කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම දිනා ගනියි. දින 3ක් පුරා කොළඹ ටොරින්ටන් පෙදෙස ක්‍රීඩාංගණයේ පැවැති ජාතික කණිෂ්ඨ නෙට්බෝල් තරගාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේදී කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායම වෙතින් ලකුණු 32 – 19ක් ලෙස මහනුවර දිස්ත්‍රික් පිල පරාජයට පත්විය.

කුරුණෑගල පාසල් නෙට්බෝල් කණ්ඩායමට කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ ඇතුළත්ව සිටි අතර පළමු කාර්තුවේදී ලකුණු 8 – 4ක්, දෙවැනි කාර්තාවේදී ලකුණු 8 – 5ක්, තෙවැනි කාර්තුවේදී ලකුණු 9 – 8ක් හා අවසන් කාර්තුවේදී ලකුණු 7 – 7ක් ලෙස විය.

තරගාවලියේ අවසන් පූර්ව වටයේදී කුරුණෑගල පාසල් නෙට්බෝල් පිල ලකුණු 22 -11කින් කොළඹ නෙට්ෆයර් පිල පරාජය කළ අතර, මහනුවර පිල වෙතින් ලකුණු 23 – 17කින් කලුතර පාසල් පිල පරාජය විය. තෙවැනි ස්ථානය සඳහා වූ තරගයේදී කලුතර පාසල් පිල ලකුණු 37 – 33කින් නෙට්ෆයර් පිල පරාජය කළේය.

මෙම තරගාවලියට වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 30ක් එක්ව සිටි අතර දක්ෂතම ක්‍රීඩිකාවට හිමි නෙට්බෝල් රැජන කිරුළ කුරුණෑගල පාසල් නෙට්බෝල් පිලේ හිරුනි නෙත්මා ධනංජිකාට හිමිවිය. දක්ෂතම විදින්නිය ලෙස කුරුණෑගල පාසල් නෙට්බෝල් පිලේ උත්පලා සජිනි රත්නායක, දක්ෂතම මැද පෙළ ක්‍රීඩිකාව ලෙස මහනුවර දිස්ත්‍රික් පිලේ වයිසා ෆෙරෝස් හා දක්ෂතම රකින්නිය ලෙස කුරුණෑගල පාසල් නෙට්බෝල් පිලේ සෙත්මි දිනෝෂී සම්මානයට පාත්‍ර වූහ.

තරගාවලියේ අවසන් වටයට පැමිණි කණ්ඩායම් 16ක පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය විසින් ඇගැයීම් සහතිකයක් පිරිනැමීමට කටයුතු යොදා තිබිණි. අමල්කා වන්නිතිලක (කුරුණෑගල), සුවින් ද සිල්වා (මහනුවර), යසන්ති තුෂාරිකා ( ශ්‍රී ලංකා පාසල් කලුතර), දීප්ත සෙනරත් (කොළඹ), ඉනෝකා සේනාධීර (මාතලේ), චම්පා අල්විස් (ක්‍රීඩා භූමී), එස්. මනෝමනී (යාපනය), ජයනී පුෂ්පමාලී (පුත්තලම), ජානකී ගුණසේකර (කලුතර), ඩේලියා ද සිල්වා (ගාල්ල), කේ. එච්. මංචනායත ( මහවැලි), කුමාරී ගමගේ (බදුල්ල), රෙක්ස් අරැල්සේකරම් (මන්නාරම), දිනූෂා බෝගම්බර (මහනුවර) හා යමුනා සඳමාලී (කොළඹ) ඇගයීමට පත් මහත්ම මහත්මීහූ වෙති.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.