SAG 2019 – ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී ඉනිමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්

ශම්මු අශාන්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන්  ( නොදැවී 72 ) 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරක නේපාල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා වයස 23න් පහළ පහළ කණ්ඩායම අද ( 03 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 කදී කඩුලු 4ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිශ්ශංක සහ නිෂාන් මධුෂංක පළමු කඩුල්ල සඳහා ලකුණු 36 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූ අතර එහිදී පැතුම් නිශ්ශංක පන්දු 12කින් වේගවත් ලකුණු 30ක් රැස් කිරීමට සමත් වූයේ අවශ්‍යම මොහොතේ ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

නායක චරිත් අසලංක සහ උප නායක කමිදු මෙන්ඩිස් මෙම තරගයේදී ලකුණු අතරට ඒමට අපොහොසත් වුවද, පස්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි ශම්මු අශාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 44 කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය. ඔහුට අනගි සහයක් ලබාදුන් නිෂාන් මධූෂංක පන්දු 42කදී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 46ක් රැස් කිරීමට සමත් විය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 172ක් පමණි.

නේපාලය වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දිපේන්ද්‍ර සිං පන්දු 44කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 72ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී කමිදු මෙන්ඩිස් ලකුණු 34කට කඩුලු 2ක් බිදහෙලද්දී, අසිත ප්‍රනාන්දු, කවිෂ්ක අංජුල සහ ඩුවිඳු තිලකරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

නේපාල කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 172

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 19.1 කදී කඩුලු 4කට ලකුණු 175

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.