සහන් කසීර වික්‍රමසිංහ
මේ වන වට නේපාලයේ කත්මණ්ඩු නුවර රැඳී සිටින ශ්‍රී ලංකා සාග් කණ්ඩායම පිළිබඳ මේ කරුණු පිළිබඳ , ඉතා මෑත දී තනතුරෙහි වැඩ භාරගත් ඔබ දැනුවත් ද ?
• ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ නවාතැන් පහසුකම් විසඳී නැත. මළල ක්‍රීඩා කණ්ඩායමට දින දෙකක් ඇතුළත තුන් වතාවක් ම නවාතැන් මාරු කිරීමට සිදු විය.
• දිල්ලිය හරහා කත්මණ්ඩු එවන්නට යෙදුණු මේසපන්දු සහ ටයිකොන්ඩෝ වැනි ක්‍රීඩා කණ්ඩායම් අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජායිපූර් වල පැය ගණනක් සිර වී අපහසුතාවයට පත් විය. ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසාන මොහොතේ අසීරුවෙන් කත්මණ්ඩු වෙත පැමිණෙන විට , නිළධාරීන් හැත්ත බුරුත්තම කල්තබා , ඉතා පහසුවෙන් කත්මණ්ඩු නුවරට ළඟා වී ඇත.
• ශ්‍රී ලංකා නිල කබාය සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබී නැත. සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමාරම්භක උළෙලට සහභාගී වූයේ ජැකට් ඇඟලාගෙන ය. නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි ලෙස නොලැබුණ නිල කබාය බොහෝ නිළධාරීන් ට ලැබී ඇත
• මේ වන විට කත්මණ්ඩු හි මාධ්‍ය සාකච්ඡා පවත්වන ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්, මැක්ස්වෙල් ද සිල්වා මළල ක්‍රීඩා කණ්ඩායමට පදක්කම් ගෙන පෙන්වන්නැයි අභියෝග කරමින් සිටී. මළල ක්‍රීඩා කණ්ඩායමට පසු ව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක් එක් කළ බැවින් තම කණ්ඩායම (නිළධාරී සහ අධීක්ෂණ විය හැකිය) අඩු කරන්නට සිදු වූ බවට වගපල කියමින් සිටී.
• ගුවන් ගමන් ප්‍රමාදය නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්ව සිටින තත්ත්වය පිළිබඳ මාධ්‍යයට අදහස් දැක් වූ ක්‍රීඩකයින්ගේ නම් ලකුණු කරමින් නිළධාරීන් ඔවුන් ව සොයමින් සිටී.
ක්‍රීඩා ඇමතිතුමනි ;
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යනු ක්‍රීඩා උළෙලක් විනා නිළධාරීන්ට පිරිනමන බලු කපුටු දානයක් නොවන බවත් , සිය ගණනින් ගිය නිළධාරීන් ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න විසඳන්නට නොහැකි නම් ඔවුන් එහි යැවීමෙන් පලක් නැති බවත් ඔබට වත් නොතේරේ ද ?
ක්‍රීඩා උළෙලකට , නිළධාරීන් අඩු කර ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි කළේ යැයි ආඩපාලි කියන , මාධ්‍ය සාකච්ඡා තබා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග මානසිකත්වයට පීඩනයක් ඇති කරන මැක්ස්වෙල් ද සිල්වා වැනි නිළධාරීන් තව දුරටත් අවශ්‍ය ද ?
හරීන් අල කර ගිය ක්‍රීඩාවට ඩලස් මොනවා කරන්නේදැයි අප බලා සිටිමු !
Be the first to comment