මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනයි

ලෝක පාපන්දු පිටියේ සුපිරි තරුවක් වන ආජෙන්ටිනාවේ ලයනල් මෙසී වාර්තාගත 6 වැනි වරටත් වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේය.

මීට වසර 63කට පෙර ප්‍රංශයේදී ‘බැලූන් ඩ්‘ඕර්‘ (රන් පාපන්දුව) නමින් ආරම්භ වූ මේ සුප්‍රකට පාපන්දු සම්මානය වැඩිම වාර ගණනක් දිනාගත් ක්‍රීඩකයා බවට පත්වීමට මෙසී සමත්වීය.

ප්‍රංශයේ පැරිස් නුවර පෙරේදා රාත්‍රී පැවැති මේ සම්මාන උළෙලේදී මෙසී වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ 2015 වසරින් පසුවය. පළමුවරට 2009දී රන් සම්මානය දිනාගත් මෙසී 2012 දක්වා අඛණ්ඩව සම්මාන 4ක් දිනාගත් අතර පසුව 2013දි සහ 2014දී දෙවැනි ස්ථානයට පත්විය.

ඉන් අනතුරුව නැවතත් ඔහු මේ සම්මානයට පාත්‍ර වූයේ 2015දීය. මෙසීගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ වසර 2016දී සහ 2017දී මේ සම්මානය දිනාගත් අතර පසුගිය වසරේදී වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගනු ලැබුවේ ක්‍රොඒෂියාවේ ලූකා මොඩ්රික් විසිනි.

බාසිලෝනා ක්‍රීඩා සමාජය නියෝජනය කරන 32 හැවිරිදි මෙසී වසරේ පාපන්දු සම්මානය 6 වැනි වරටත් දිනාගනිද්දී 5 වතාවක් එම සම්මානයට හිමිකම් කී රොනල්ඩෝට හිමිවූයේ තුන්වැනි ස්ථානයයි.

‘අද මගේ හයවැනි බැලූන් ඩ්‘ඕර් සම්මානය දිනාගත්තා. මේක සම්පූර්ණයෙන්ම වෙනස් මොහොතක්. මගේ බිරිය නිතරම කියන්නේ සිහින දැකීම අත් හරින්න එපා වෙහෙස මහන්සි වී වැඩ කරන්න, දිගටම සතුටින් ඉන්න කියලයි. මම හරි වාසනාවන්තයි.‘ සම්මානය දිනා ගැනීමෙන් පසුව මෙසී එසේ කීවේය.

‘පැරීසියේදී මම මගේ මුල්ම සම්මානය දිනාගත්තේ මීට අවුරුදු 10කට කළිනුයි. මට මතකයි මම මෙහි ආවේ මගෙ සහෝදරයන් තුන්දෙනා එක්කයි. ඒ වෙද්දී මට අවුරුදු 22යි. දැන් අවුරුදු 10කට පස්සේ මම මගේ 6 වැනි සම්මානයත් දිනාගෙන ඉවරයි. මේක මගේ පෞද්ගලික ජීවිතයේ විශේෂ අවස්ථාවක්. මේ අවස්ථාව මගේ බිරියටත්, දරුවන් තුන්දෙනාටත් අමතක වෙන එකක් නෑ. ඔහු පැවැසීය.

නෙදර්ලන්තයේ ක්‍රීඩක වර්ජිල් වැන් ඩිජ්ක් අනුශූරතාව දිනාගත් අතර අමෙරිකාවේ 34 හැවිරිදි ක්‍රීඩිකා මේගන් රැපිනෝවා වසරේ පාපන්දු ක්‍රීඩිකාව සම්මානය හිමිකර ගත්තාය. එංගලන්තයේ ලුසී බ්‍රොන්ස් අනුශූරිය බවට පත්වූවාය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.