රෝගාබාධ සහ අනතුරු මැද ෆෘට් සැලඩ් වෙමින් හෝ පදක්කම් රැක ගන්නට දත කන ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම වෙත ලියමි. ඔබගේ අප්‍රතිහත ධෛර්යය ට අපගේ අත්පොළසන් නද මෙසේ පුද දෙමු.
සියලු දුර්ගාන්තයන් ඇරඹෙන්නේ සාග් උළෙලට දින දෙකක් තබා අවසාන මොහොතේ නිමාලි ලියනාරච්චි ලංකාවේ දී යතුරුපැදි අනතුරකට භාජනය වීමෙනි. නිමාලි මීටර 1,500 සහ මීටර 800 සමග මීටර 4×400 ඉසව් සඳහා තරග වදින්නට සුදුසුකම්
ලබා සිටි ක්‍රීඩිකාව ය.
ඒ අනුව නිමාලි නොමැතිව පුරප්පාඩු වන මීටර 1,500 ඉසව්වට ශ්‍රී ලංකාවෙන් ගයන්තිකා අබේරත්න සමග තරග වදින්නට ආදේශක ක්‍රීඩිකාව ලෙස නිලානි රත්නායක යොමු කරනු ලැබිණ. ඇය කත්මණ්ඩු නුවරට පැමිණියේ මීටර 5,000 ඉසව්ව සඳහා ය. අවසානයේ දී මීටර 1,500 ඉසව්වේ නිත්‍ය ක්‍රීඩිකාව ගයන්තිකා සිව් වැන්නා වන විට ආදේශක ක්‍රීඩිකාව වූ නිලානි රත්නායක ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වූවා ය.
එසේ අහඹු ඉසව්වක රන් පදක්කම හිමි කරගත් නිලානි රත්නායක මීටර 5,000 ඉසව්ව සඳහා සාග් උළෙලට පැමිණෙන්නේ සුවිශේෂී වරප්‍රසාදයක් ලබමිනි. තේරීම් තරග වල දී මීටර 5,000 , මීටර 10,000 සහ මැරතන් ඉසව් ත්‍රිත්වය සඳහාම සුදුසුකම් ලැබූ හිරුණි විජයරත්න , තමා අනෙක් ඉසව් දෙක වෙත පූර්ණ අවධානය යොමු කරන බැවින් මීටර 5,000 ඉසව්ව සඳහා තමා වෙනුවට නිලානි හට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටියා ය. ඒ අනුව මීටර 5,000 ඉසව්ව සඳහා සාග් උළෙලට තරග වදින්නට වරම් ලද නිලානි රත්නායක ; නිමාලි මුහුණ දුන් අහඹු අනතුර නිසා මීටර 1,500 ඉසව්වට ද ආදේශක ක්‍රීඩිකාවක් ලෙස තරග වදින්නට අවස්ථාව හිමි කරගත්තාය .
නිමාලි ලියනාරච්චි සහභාගී වන්නට සිටි අනෙක් ඉසව්ව වන මීටර 800 ඉසව්වට ඇය සමග ලංකාවෙන් සුදුසුකම් ලබා තිබුණේ දිල්ෂි කුමාරසිංහ ය. මේ ඉසව්වේ පසුගිය 2016 උළෙලේ දී රන් පදක්කම නිමාලිට හිමි වන විට , රිදී පදක්කම් ලාභිනිය වූයේ ගයන්තිකා අබේරත්න ය. දැනට මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව උසුලන ගයන්තිකා ආසියානු සූරතාවලියේ දී පවා රිදී පදක්කමක් දිනා තිබුණ ද මෙවර තේරීම් තරගාවලියේ දී හිමි කරගත්තේ තුන්වැනි ස්ථානය ය. ඒ අනුව කත්මණ්ඩු බලා එන විට මීටර 800 ඉසව්ව අමතක කර පැමිණි ගයන්තිකා බොහෝ දුරට දිල්ෂි කුමාරසිංහ සමග ආදේශක ක්‍රීඩිකාව ලෙස එම ඉසව්වට තරග කරනු ඇත.
මීටර 200 සහ මීටර 400 ඉසව් ද්විත්වයේ සහ මීටර 4×400 සහාය ඉසව්වේ රන් පදක්කම් අපේක්ෂාව වූ නදීෂා රාමනායක සාග් උළෙල පසෙක ලා කත්මණ්ඩු නුවර රෝහලක සිරගත වූයේ ඩෙංගු උණ රෝගය හේතුවෙනි. ඒ අනුව ඇය වෙනුවෙන් ද ක්‍රීඩිකාවන් ආදේශ කිරීමට සිදු විය.
මීටර 200 ඉසව්වේ නදීෂාගේ ආදේශක ක්‍රීඩිකාව වූ අමාෂා ද සිල්වා ය. ඇය මීටර 200 අවසාන තරගයේ පස් වැනි ස්ථානය දිනාගත් අතර මීටර 400 ඉසව්වේ නදීෂාගේ ආදේශක ක්‍රීඩිකාව වූ දිල්ෂි කුමාරසිංහ ය. දේශීය තේරීම් තරග වල දී නදීෂා රාමනායකට සහ කෞෂල්‍යා මධුෂානි හට පරාජය වූ නමුත් අවසාන මොහොතේ තරග වැදුණු දිල්ෂි කුමාරසිංහ රන් පදක්කම දිනා ගන්නට සමත් වූවාය. කෞෂල්‍යා මධුෂානි හට හිමි වූයේ සිව් වැනි ස්ථානය ය.
දුර පැනීම ඉසව්ව සඳහා ලංකාවෙන් සුදුසුකම් ලබා තිබුණේ විදුෂා ලක්ෂානි සහ අංජලී පුල්වංශය. 2016 සාග් උළෙලේ ලෝකඩ පදක්කම දිනා තිබූ මේ ඉසව්වේ ජාතික සූරිය වන සාරංගි සිල්වා තේරීම් තරග වල අනපේක්ෂිත පරාජයක් ලැබූ නමුත් මීටර 100 ඉසව්වේ සිව්වැනියා වූ බැවින් 4×100 සහාය දිවීමේ ක්‍රීඩිකාවක් ලෙස කත්මණ්ඩු පැමිණ තිබිණ.
කෙසේ නමුත් විදූෂා ලක්ෂානිගේ ආබාධ තත්ත්වය මත ඇය දුර පැනීමේ ඉසව්ව අමතක කර ඇගේ ප්‍රධාන ඉසව්ව වන තුන් පිම්ම ඉසව්ව සඳහා පමණක් සහභාගී වන්නට තීරණය කළ බැවින් සාරංගි සිල්වා හට දුර පැනීමේ අවස්ථාව හිමි විය. අවසානයේ දී සාරංගි සිල්වා එම ඉසව්වේ රන් පදක්කම ද අංජලී පුල්වංශ රිදී පදක්කම ද දිනාගන්නා විට විදූෂා තම ප්‍රධාන ඉසව්ව වන තුන් පිම්ම ඉසව්වේ රිදී පදක්කමෙන් සැනසුණාය.
මීටර 10,000 පිරිමි ඉසව්වට සහභාගී වීමට සිටි උපුල් කුමාර ද රෝහල් ගත කර ඇති බැවින් එම ඉසව්ව සඳහා ආර්. එම්. එස්. පුෂ්පකුමාර ආදේශ කරන බව පැවසිණ.
පසුගිය ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 4×400 කාන්තා සහාය දිවීමේ ඉසව්වට සහභාගී වූ ක්‍රීඩිකාවන් , නව ශ්‍රී ලංකා තරග වාර්තාවක් පිහිටවනු ලැබූ බැවින් මෙවර එම ඉසව්ව පිළිබඳ දැඩි බලාපොරොත්තුවක් විය. අවසාන සහාය දිවීම් තේරීම් තරගය අනුව නදීෂා රාමනායක, නිමාලි ලියනාරච්චි , දිල්ෂි කුමාරසිංහ සහ කෞෂල්‍යා මධුෂානි ලෙස නම් කළ කණ්ඩායමේ මුල් ක්‍රීඩිකාවන් දෙදෙනාම රෝගාතුර බැවින් රන් පදක්කම් සිහිනය තරමක් දුෂ්කර ය නමුත් රිදී පදක්කම හෝ දිනාගන්නට සහාය දිවීමේ කණ්ඩායමක් සඳහා තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අවශ්‍ය ව ඇත. බොහෝ විට ඒ සඳහා මීටර 400 කඩුළු පැනීමේ ක්‍රීඩිකාව නිරෝෂිකා ලක්මාලි සහ දිගු දුර ධාවන සූරිය ගයන්තිකා අබේරත්න සහ කෙටි දුර ධාවන සූරිය අමාෂා ද සිල්වා අතරින් දෙදෙනෙක් යොදා ගනු ඇතැයි සිතේ.
මෙහි දී දක්නට ලැබෙන විශේෂිතම කරුණකි. ඒ , තේරීම් තරගයේ දී පසුබෑම හේතුවෙන් තම නිත්‍ය ඉසව්ව අහිමි වී , ඒ සඳහා ඉදිරිපත් කළ / නොකළ සහ අභියාචනා නිල වශයෙන් ප්‍රතික්ෂේප වූ පසු වැදගත් සහ මහත්මා විලාසයෙන් එම තීන්දුව භාරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් හට අහඹු සිදුවීම් හේතුවෙන් තම නිත්‍යා ඉසව්ව හිමි වූ බව ය. ඔවුන් බහුතරයක් ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන රන් පදක්කම් දිනාගෙන ඇත. නීතිගරුක ලෙස කණ්ඩායමේ අවස්ථාව ලැබීම සහ හරීන් ප්‍රනාන්දුගේ මාර්ගයෙන් කණ්ඩායමට ගෙඹි පිම්ම දැමීම යනු පරස්පර කරුණු බව පසක් කළ වැදගත් හැසිරීමකිම් යුතු ක්‍රීඩක ක්‍රීඩිකාවනි ; ඔබට අපගේ ගෞරවය. !
සියලුම බාධක විඳ දරාගනිමින් ලංකාව වෙනුවෙන් දහදිය මුගුරු හෙළන ක්‍රීඩක ක්‍රීඩිකාවනි ; සියලුම බාධක මැද නුඹලා එක දෙයක් ඔප්පු කර ඇත. නැවක් පිරෙන්නට නිළධාරීන් බුරුතු පිටින් සංචාරය කළ ද හදිසි මොහොතක දී ආදේශ කරන්නට සිටින්නේ අවුන්ස ගණනින් කිරා මැන බලා ගෙනයන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනා පමණක් ම බවය.
ජය !
– සහන් කසීර වික්‍රමසිංහ –
Be the first to comment