ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් තරගය අද ( 15 ) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.
2009 වසරින් පසු පාකිස්තානයේ පැවති පළමු ටෙස්ට් තරගය බවට මෙය පත්වෙද්දී, තරගයේ ආරම්භක දිනයේ සිටම වර්ෂාවෙන් බාධා ඇති විය. ශ්රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා ශතකයකින් ශ්රී ලංකා ඉනිම වර්ණවත් කරද්දී, පාකිස්තානය වෙනුවෙන් අබීඩ් අලී සහ බාබර් අසිම් ශතක රැස් කිරීමට සමත් වූහ.
ශ්රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු 6කට ලබාගත් ලකුණු 308ට පිළිතුරු පළමු ඉනිම ඇරඹූ පාකිස්තාන කණ්ඩායම තරගය නිමාවේදී කඩුලු 2කට ලකුණු 252ක් රැස් කිරීමට සමත් විය.
පාකිස්තානු ආරම්භක පිතිකරු අබීඞ් අලි සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත්තේ ශ්රී ලංකාවට එරෙහිව සිය පළමු ටෙස්ට් තරග වලට සහභාගි වෙමින් ශතක ලබාගත් පාකිස්තානු පිතිකරුවන් වන සලීම් මලික් (නොදැවී 100), යුනිස් ඛාන් (107) සහ ෆවාඩ් අලාම් (168) අනුගමනය කරමිනි. ටෙස්ට් සහ එක්දින තරග යන ක්ෂේත්ර දෙකේදීම සිය මංගල තරග වලදී ශතක ලබාගත් එකම පිතිකරුවා ලෙසින්ද අබීඩ් අලි ක්රිකට් වාර්තා පොතට එක්විය. ඔහුට අනගි සහයක් ලබා දෙමින් සිව්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි බාබර් අසාම් වේගවත් ඉනිමක් ක්රීඩා කරමින් පන්දු 128 කදී හතරේ පහර 14ක් සමගින් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ළහිරු කුමාර සහ කසුන් රාජිත අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියද සෙසු ශ්රී ලංකා පන්දු යවන්නන්ට සුපුරුදු රිද්මයට පැමිනීමට අවස්ථාවක් හිමි නොවූහ.
දිගින් දිගටම වර්ෂාවෙන් තරගයට බාධා පැමිණිදේදී තරගයේ දින 4 ක් පුරා කඩුල්ල ආරක්ෂා කරගනිමින් පිටියේ රැඳුණු ධනංජය ද සිල්වා අද පෙරවරුවේදී තම හයවැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය. ඔහු එහිදී මොහොමඞ් අබ්බාස්ගේ පන්දුවක් එක්ස්ට්රා කවර් කලාපය හරහා හතරේ සීමාවට වෙත යොමුකරමින් සිය ශතකය සම්පූර්ණ කර ගත්තේය. එය පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගනයේ ශ්රී ලංකා පිතිකරුවෙකු රැස්කළ දෙවැනි ශතකය බවට ඉතිහාසයට එක්විය.
ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතය.
ශ්රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 97 කදී කඩුලු 6කට ලකුණු 308
( දිමුත් කරුණාරත්න 59, ඕෂධ පුනාන්දු 40, ඇන්ජලෝ මැතිවුස් 31, ධනංජය ද සිල්වා නොදැවී 102 , නිරෝෂන් දික්වැල්ල 33, දිල්රුවන් පෙරේරා නොදැවී 16 , ෂයින් අෆ්රිඩි 58/2, නසීම් ෂා 92/2 )
පාකිස්තාන පළමු ඉනිම – පන්දුවාර 70 කදී කඩුලු 2කට ලකුණු 252
(අබිඩ් අලී නොදැවී 109 , අසාර් අලී 36, බාබර් අසාම් නොදැවී 102, කසුන් රාජිත 5/1, ළහිරු කුමාර 46/1 )
Be the first to comment