පිලිපීනයට එරෙහිව ලකුණු 40-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල අවුරුදු 19න් පහළ ආසියානු රග්බි පළමු කාණ්ඩයේ ශුරතාවලිය ජය ගැනීමට සමත්විය. චීනයේ චොංකිං නුවර පසුගියදා පැවැති මේ තරගාවලියේ දී ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණයත් සමග නැවත අවුරුදු 19න් පහළ ආසියානු රග්බි සුපිරි තරගාවලියට එක්වීමට ද ශ්‍රී ලංකා පිල සමත් විය.
රාජකීය විදුහල් පිලේ නායක තුලේබ් හසන්ගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා පිල පිලිපීනය සමග පැවැති අවසන් තරගයේදී උත්සාහක දිනුම් 6ක් තැබීමට සමත්වූ අතර ඉන් 2ක් ගෝල බවට පත් කරමින් සහ දඬුවම් පහර දෙකක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිල සිය ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළේය.
නායක තුලේබ් හසන් උත්සාහක දිනුම් ද්විත්වයක් තැබීමට සමත්වූ අතර යසස් ජනිඳු, සැමුවෙල් ඔග්බේබොර්, ආසිරි සෙනෙවිරත්න සහ ෆයිසල් ආදම් සෙසු උත්සාහක දිනුම් තැබූහ. මුර්ෂීද් ඩුරේයි උත්සාහක දිනුම් 2ක් ගෝල බවට පත් කරද්දී මනිල්ක සුලක්ෂණ දඬුවම් පහර ද්විත්වය සාර්ථක කරගත්තේය.
ශ්‍රී ලංකාව සමග සත්කාරක චීනය, පිලිපීනය හා තායිලන්තය තරග වැදුණු මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ ජයග්‍රහණයත් සමග ලබන වසරේදී හොංකොං, දකුණු කොරියාව සහ චීන තායිපේ කණ්ඩායම් සමග ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබාගත්තේය.
ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල මේ තරගාවලියට එක්වූයේ ප්‍රවීණ රග්බි ක්‍රීඩා අධ්‍යාපන නිලධාරියකු සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිලේ වත්මන් පුහුණුකරු වන නිහාල් ගුණරත්න (වයිපර්)ගේ ප්‍රධාන පුහුණුකාරිත්වයෙන් සහ තර්ස්ටන් විදුහල් පිලේ පුහුණුකරු රෝහිත රාජපක්ෂගේ, ආනන්ද කස්තුරිආරච්චි සහ සාන්ත පීතර විදුහල් පිලේ සහාය පුහුණුකරු රජීව් පෙරේරාගේ සහාය පුහුණුකාරීත්වයෙනි.
Be the first to comment