සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි 20 තරගය කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද ( 07 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තරග 1-0 කින් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 143ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 3ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන් හඹා ගියේය.
ඉන්දීය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වූයේ ඉන්දීය කණ්ඩායමට ජයග්‍රාහී ආරම්භයක් ලබා දෙමිනි.
එහිදි වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ලෝකේෂ් රාහුල් පන්දු 32කදී ලකුණු 45ක් රැස් කිරීමට සමත් විය. ලෝකේෂ් රාහුල් සහ ශිකර් ධවාන් ගොඩ නැගූ ඉනිමට ජීවයක් එක්කළ ශ්‍රියාස් අයියර් ( ලකුණු 34 ) සහ නායක විරාට් කෝලි ( නොදැවී ලකුණු 30 ) රැස් කරමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
පන්දු යැවීමේදී වනිදු හසුරංග ලකුණු 30කට කඩුලු 2ක් බිද හෙලනු ලැබුවද සෙසු සියලුම පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේ ශ්‍රී ලංකාව මෙම වසරේ සහභාගී වූ පළමු තරගයම පරාජයට පත් වෙමිනි.
ඉන්දීය නායක විරාට් කෝලිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 142ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ කුසල් ජනිත් පෙරේරා පන්දු 28කදී හයේ පහර 3ක් සමගින් ලකුණු 34ක් රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේදී ශර්දුල් තකූර් ලකුණු 23කට කඩුලු 3ක් බිදහෙලු අතර කුල්දීප් යාදේව් සහ නව්දීප් සයිනි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඉන්දීය කණ්ඩායම – පන්දුවාර 17.3 කදී කඩුලු 3කට ලකුණු 144
( ලෝකේෂ් රාහුල් 45, ශිකර් ධවාන් 32, ශ්‍රියාස් අයියර් 34 , විරාට් කෝලි නොදැවී 30 , වනිදු හසරංග 30/2 )
ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 142
( කුසල් ජනිත් පෙරේරා 34, අවිශ්ක ප්‍රනාන්දු 22, ධනුෂ්ක ගුණතිලක 20, ධනංජය ද සිල්වා 17, වනිදු හසරංග නොදැවී 16, ශර්දුල් තකූර් 23/3, නව්දීප් සයිනි 18/2, කුල්දීප් යාදේව් 38/2 )
Be the first to comment