දැල්පන්දුවේ විශිෂ්ට ක්‍රීඩිකාවන් 20 ක් තේරීම ඇරඹේ

ජාතික නෙට්බෝල් පිලට දක්ෂතම ක්‍රීඩිකාවන් 20ක් තෝරා ගැනීමේ තේරීම් පරීක්ෂණය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. දැනට ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් 36ක් සිටින අතර මෙයින් 20ක් තෝරා පුහුණුවීම් ආරම්භ කෙරෙන අතර අනෙක් ක්‍රීඩිකාවන් 16 ජාතික සංවර්ධන සංචිතයට එක්කරන බව ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ සභාපතිනී ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය පැවැසූවාය.

මේ ජාතික සංවර්ධන සංචිතය ශ්‍රී ලංකා නෙට්බෝල් ක්ෂේත්‍රයේ මෑත කාලයේ හොඳම දක්ෂතා පෙන්වූ පුහුණුකාරිණියක් වන ශෂිකා සමරසිංහ මෙනවිය යටතට පත්කරන බවද වික්ටෝරියා මහත්මිය සඳහන් කළාය. ශෂිකා සමරසිංහ මෙනවිය යටතේ පුහුණුව ලැබූ හැටන් නැෂනල් බැංකු නෙට්බෝල් පිල පිට පිට ජාතික නෙට්බෝල් ශූරතා හා වෙළඳ සේවා නෙට්බෝල් ශූරතා වසර කිහිපයක් තිස්සේම දිනා හොඳම ප්‍රතිඵල පෙන්වූ හෙයින් නෙට්බෝල් සම්මේලනයේ විශ්වාසය හා අවධානය දිනා ඇතැයි සභාපතිනිය සඳහන් කළාය.

ශෂිකා සමරසිංහ වසර 2008 සිට 2014 දක්වා අවස්ථා හතරකදීම ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ නායිකාව ලෙස කටයුතු කළ අතර 2009දී ආසියානු ශූරතාව ශ්‍රී ලංකා පිලට දිනා දීමට පෙරමුණ ගත් ක්‍රීඩිකාවක් වන හෙයින් ක්‍රීඩාව පිළිබඳ හසල අත්දැකීම් ඇති තැනැත්තියක් බව පිළිගැනීම වේ.

අද දිනයේ තෝරා ගන්නා ක්‍රීඩිකාවන් 20 අතුරින් හොංකොං හී පැවැත්වෙන සිවුකොන් නෙට්බෝල් තරගාවලියට සහභාගීවන ක්‍රීඩිකාවන් 12ක් මේ මස 27වැනිදා පැවැත්වෙන තේරීම් පරීක්ෂණයකදී තෝරා ගැනීමට නියමිතය. 2018දී ආසියානු ශූරතාව දිනාගත් නෙට්බෝල් පිල හා මේ වසරේ නිමාවට පත්වූ ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලියේදී නෙට්බෝල් පිල මෙහෙයවූ චතුරාංගනී ජයසූරිය දැනට ජාතික නෙට්බෝල් සංචිතයේ නොමැති හෙයින් නව නායිකාවක් තෝරා ගැනීමද හොංකොං සිවුකොන් නෙට්බෝල් තරගාවලියට පෙර සිදු කෙරේ.

ශ්‍රී ලංකා නෙට්බෝල් සංචිතය තෝරා ගැනීම පද්මා බැද්දෙවෙල මහත්මියගේ සභාපතිත්වයෙන් සකුන්තලා විජේතුංග, සිතා රමණි, තිසාංගනි කොඩිතුවක්කු හා වජිරා පුෂ්පකුමාරි යන මහත්මීහූ ඇතුලත් තේරිම් කමිටුව මගින් සිදුකෙරේ. මේ වසරේ ජූලි මාසයේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියට පෙරහුරුවක් ලෙස පැවැත්වෙන හොංකොං සිවුකොන් නෙට්බෝල් තරගාවලිය පෙබරවාරී මාසයේ පැවැත්වෙන අතර එම තරගාවලියට ශ්‍රී ලංකාව, කෙන්යාව, තායිලන්තය හා හොංකොං යන කණ්ඩායම් සහභාගී වෙති.

ප්‍රින්ස් ගුණසේකර -දිනමිණ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.