සිංහ ධජය අතැතිව අසු පිටින් ඔලිම්පික් යන මැටිල්ඩා

මේ වසරේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්වීඩනයේ ජීවත්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන් අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංගම්වලින් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ටෝකියෝ ඔලිම්පික් සරිසාධන මට්ටමට ළගාවී ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා නොමැති තත්ත්වයක් තුල මැටිල්ඩා කාල්සන්ගේ මතුවීම කැපී පෙනෙන සිදුවීමක් මෙන්ම ශ්‍රී ලංකාවට විශාල ගෞරවනීය අවස්ථාවකි.

වසර 1984 දී ඇයට මාස තුනක් වෙද්දී ශ්‍රී ලාංකේය මව්පියන් යුවල ආර්ථික අපහසුතා හේතුවෙන් ස්වීඩන යුවලකට දරුකමට හදා ගැනීමට මැටිල්ඩා කාල්සන් ලබාදී ඇති අතර කුඩා කාලයේ සිට ක්‍රීඩාවට ආදරය කරමින් පුහුණුවීම්වල නිරතවීමේ උච්චතම ප්‍රතිඵලය ලැබී ඇත. 35 හැවිරිදි මැටිල්ඩා කාල්සන් ස්වීඩනයේ ක්‍රිස්ටියන්ස්ටාඩ් හි හැදී වැඩුණු අතර අශ්වාරෝහක වෘත්තිය ආරම්භ කර ඇත්තේ රයිටාර්සෝල්ස් කැප් එරට ක්‍රීඩා සමාජයේදීය. එහිදී මැටිල්ඩා අශ්වයන්ට ඇගේ ආදරය හා කරුණාව දැක්වූ බවත් පසුව එය ක්‍රීඩාවට වර්ධනය කරගත් බවත් සදහන් වේ.

“ශ්‍රී ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වූණා. මා හදාවඩා ගත් මව හා පියා දරුවෙකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට ලබා දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට ලබාදුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුනත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුන වැඩුන රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි“ මැටිල්ඩා සදහන් කළාය.

“ශ්‍රී ලංකාවේ ඉපදී මාස තුනකින් පසු මේ දක්වා මා ස්වීඩනයේ ඉතා ආදරණීය පවුලක හැදී වැඩීමට වාසනාවන්ත වූණා. මා හදාවඩා ගත් මව හා පියා දරුවෙකුට ලැබිය යුතු ආදරය සෙනෙහස හා සියලු සහයෝගය මට ලබා දුන්නා. මම අද ඔලිම්පික් වරම් ලැබීම දක්වා විශාල ගමණක් පැමිණියේ මගේ ස්වීඩන් පවුලේ අය මට ලබාදුන් අවස්ථාව හා සහයෝගය නිසයි. ඒ වුනත් අවසානයේ මා තෝරා ගත්තේ හැදුන වැඩුන රට නොවෙයි. මා ඉපැදුන රටේ සිංහ කොඩියයි”

ස්වීඩනයේදී ඔලිම්පික් වරම් ලබාගත්ත ද ඇය ස්වීඩන ජාතික කොඩිය යටතේ ටෝකියෝ ඔලිම්පික් උලෙලට ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා නාමය යටතේ ක්‍රීඩා කරන බව ඹලිම්පික් සංවිධායකයින් වෙත දැනුම්දී තිබිණි. “ ස්වීඩනයේ මගේ ජීවිතය ගොඩ නැග්නත් මා උපන් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හිතා ගත්තා“ මැටිල්ඩා කාල්සන් සදහන් කළාය. ඇය අවසන්වරට 2017 දී ශ්‍රී ලංකාවට පැමිණි බවත්, උපන් රටේ සුන්දරත්වය හා හමු වූ ශ්‍රී ලාංකිකයින්ගේ කරුණාව ආදරය මිහිරි මතකයක් බව ඇය පවසන්නීය. මෙතෙක් පැවැති ඔලිම්පික් ඉතිහාසය පුරා අශ්වාරෝහක පැනීමේ ඉසව්වෙන් සුදුසුකම් ලැබූ පළමු පැනීමේ ක්‍රීඩිකාව ලෙස මැටිල්ඩා කාල්සන් දැනටමත් ඉතිහාසයට එක්වී ඇත.

“මා ශ්‍රී ලංකාවේ ඉපැදුනත් සැමවිටම ස්වීඩන් ජාතිකයෙක් වගේ ක්‍රියා කළේ. මගේ හදවතේ විශාල කොටසක් සැමවිටම ස්වීඩනයට අයත් වනවා. මොකද මා හැදී වැඩුණේ එතැන. මගේ සියලු දේ ඉගෙන ගත්තේ ස්වීඩනයෙන් කොහොම වුනත්, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ගැන මා ආඩම්බර වෙනවා“ මැටිල්ඩා පැවැසූවාය.

අශ්වාරෝහක ඉසව්වලින් ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඉන්දියාව හා පාකිස්තානය වැනි දකුණු ආසියා රටවලින් ද ක්‍රීඩකයකු බැගින් සුදුසුකම් ලබා ඇති අතර රටවල් 200කින් රටවල් 50ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේවනවිට අශ්වාරෝහක ඉසව්වලට සුදුසුකම් ලබා සිටී.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ මැටිල්ඩා කාල්සන් හෙට ටොරින්ටන් පෙදෙස ජාතික ඔලිම්පික් කමිටු නිවහනේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.

දිනමිණ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.