ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය හෙටින් ( 19 ) ඇරඹේ

මාස 13කට පසු ටෙස්ට් පිටියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සිම්බාබ්වේ කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය හෙට ( 19 ) සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2019 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමත් සමග සිම්බාබ්වේ කණ්ඩායම ටෙස්ට් පිටියට පිවිසෙන පළමු තරගාවලිය මෙය වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ මංගල ටෙස්ට් තරගය

ශ්‍රී ලංකා කණ්ඩායම 1982 වසරේදී එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගනිද්දී, ඊට වසර 10කට පසු ටෙස්ට් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම 1992 වසරේදී ඉන්දියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගත්තේය. 90 දශකය යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැරවුම් ලක්ෂය වුව ද ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම සමගින් 1994 වසරේ මංගල ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පෙර පැවති ඉන්දියා සහ පාකිස්තාන ටෙස්ට් තරගාවලියන්හි සියලු තරග පරාජයට පත්ව සිටියේය. එකී පරාජයේ මානසිකත්වයෙන් පිටියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ මංගල ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට හැකිවීම මගින් එවකට ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබමින් සිටි පරාජ රැල්ලට තිත තැබීමට හැකියාව ලැබිණ. ශ්‍රී ලංකාව සහ සිම්බාබාව්වේ අතර පැවති මංගල ටෙස්ට් තරගාවලියේ තරග 3ම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුව ද එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අසංක ගුරුසිංහ, සංජීව රණතුංග, අර්ජුන රණතුංග මෙන්ම හෂාන් තිලකරත්න ශතක රැස් කරමින් පිත්තෙන් දක්ෂතා දක්වද්දී, චමින්ද වාස් සහ රවීන්ද්‍ර පුෂ්පකුමාර පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූහ.

මුහුණට මුහුණ

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් ටෙස්ට් තරග 18ක් පවත්වා ඇති අතර එයින් තරග 13කම ජය ශ්‍රී ලංකාව සතුවෙද්දී, තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම මෙතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක්වත් ජයග්‍රහණය කර නොතිබීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දැවන්තයෝ

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර මෙතෙක් පැවති තරග වලට අනුව මාවන් අතපත්තු 1998 සිට 2004 කාල සීමාව තුළ ටෙස්ට් තරග 10කට මුහුණ දෙමින් ලකුණු 1145 ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ දෙරට අතර වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමිනි. එහිදී ඔහු සිම්බාබ්වේට එරෙහිව  ශතක 5ක් සහ එක් අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්ව තිබේ. මෙම සටහනේ දෙවැනි ස්තානයේ රැදී සිටිනුයේ සිම්බාබ්වේ හිටපු කඩුලු රකින පිතිකරුවෙකු වූ ඇන්ඩි ෆ්ලෝවර්ය. ඔහු එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව තරග 13කදී ලකුණු 778ක් රැස් කිරීමට සමත්ව ඇත්තේ ශතක 2ක් සහ ්ර්ධ ශතක 5ක් තමන්ගේ ගිණුමට එක්කර ගනිමිනි.

එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දග පන්දු යවන්නා ලෙසින් කාගේත් කතා බහට ලක් වූ මෙන්ම අදටත් සියල්ලන්ගේම හද තුළ රැදී සිටින මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිද හෙලූ පන්දු යවන්නා බවට ඉතිහාසයට එක් වී තිබේ. ඔහු ටෙස්ට් තරග 14 කදී කඩුලු 87ක් බිද හෙලද්දී, චමින්ද වාස් කඩුලු 48ක් බිද හෙලා තිබේ.

තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවද්දී, සිම්බාබ්වේ කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ 33 හැවිරිදි සීන් විලියම්ස් විසිනි. බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී පාකිස්තාන තරගාවලියට ක්‍රීඩාකළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබේ. ඒ අනුව දිමුත් කරුණාරත්න සමගින් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට ඕෂධ ප්‍රනාන්දුට අවස්ථාව හිමිවනු ඇත. දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට තවත් අවස්ථාවක් ලබා දීමේ අදිටනින් බොහෝ සෙයින් මෙම තරගාවලියට එක් කරන්නට ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඔහු අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන්නේ නම්, ඇන්ජලෝ මැතිවුස්  සහ දිනේෂ් චන්දිමාල් පිළිවෙලීන් සිව්වන සහ පස්වන ස්ථානයන්හි ක්‍රීඩාකරනු ඇත. ඒ අනුව ධනංජය ද සිල්වාට කණ්ඩායමට එක් වීමට සිදුවනුයේ පන්දු යවන්නෙකු  වශයෙන් රැදී සිටිමිනි. ඒ අනුව ධනංජය ද සිල්වා  6 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින් ඉනිම ගොඩ නැගීමට අවස්ථාව හිමිවනු ඇත. නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙසින් එක් වෙමින් 7 වැනි පිතිකරුවා ලෙස කණ්ඩායමට එක්වීමට අවස්ථාව තිබේ. ධනංජය ද සිල්වා සමගින් දග පන්දුවේ කාර්යය භාරය ඉටු කිරීමට දිල්රුවන් පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණියගෙන් එක් අයෙකු කණ්ඩායමට තෝරා ගැනීමට දිමුත්ට සිදුවනු ඇත. එහිදී පාකිස්තාන සංචාරයේදී දිල්රුවන් පෙරේරා දක්ෂතා අතර නොසිටීම හේතුවෙන් එකී අවස්ථාව ලසිත් ඇඹුල්දෙණිය වෙත හිමි වීමට බොහෝ සෙයින් අවස්ථාව තිබේ. පාකිස්තාන සංචාරයට එක් නොවූ සුරංග ලක්මාල් නැවතත් කණ්ඩායමට එක් වී ඇති හෙයින් ඔහු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට එක්වනු ඇත. ඒ අනුව ඔහු සමගින් ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු බොහෝ සෙයින් වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වනු ඇත.

මෙවර ශ්‍රී ලංකා  සංචිතය තේරීමේදී කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානි අසන්ත මෙල් මහතාට ක්ෂේත්‍රෙය් බොහෝ දෙනාගේ අප්‍රසාදය එල්ල වී තිබිණ. මෙවර තරගාවලියට එක්ව සිටින ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ ක්‍රීඩා තිරීමට ස්ථානයක් හිමි නොවන්නේ නම්, ඔහු වෙනුවෙන් යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංකට කණ්ඩායමේ ස්ථානයක් ලබා දුන්නේ නම් අවම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ලබා ගැනීමටවත් අවස්ථාව තිබූ  බව තවත් ක්‍රිකට් විචාරකයෝ මත පළකර තිබිණ. එය එසේ වූවානම්, ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් ගත් සාර්තක තීරණයක් වීමට ඉඩ තිබිණ. කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම තේරීපත් වී අවසන්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස තේරිපත් වෙද්දී, සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් නොලැබූ ක්‍රීඩකයන් 5 දෙනෙකුම ඇතුළත් කිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. හැමිල්ටන් මසකඩ්සා ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමත් සමග කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සීන් විලියම්සන්ට හිමිව තිබේ. සිම්බාබ්වේ සංචිතයට එක්ව  සිටින බ්‍රෙන්ඩන් ටේලර් සහ සිකන්ද රාසා ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නෙකු වන ටෙන්ඩායි චටාරා ආබාධයට ලක්වීම හේතුවෙන් මෙවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ඔහුට අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න ( නායක ) , ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු,කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්

සිම්බාබ්වේ සංචිතය – සීම් විලියම්ස් ( නායක ), සිකන්ද රාසා, රෙජිස් චකබ්වා, ක්‍රේග් ඒවින්,  කයිල් ජාවිස්, කෙවින් කසුසා, ටිමිසෙන් මරුමා, ප්‍රින්ස් මැස්වවුරි, බ්‍රයන් මුඩ්සින්ගන්යාමා, කාල් මුම්බා, ඒන්ස්ලි එන්ඩ්ලොවු, වික්ටර් නියෝචි, බ්‍රෙන්ඩන් ටේලර්,ඩොනල්ඩ් ටිරිපනෝ, කාල්ටන් ටුෂුමා

තරග කාල සටහන

ජනවාරි 19 – 23 – පළමු ටෙස්ට් තරගය හරාරේදී

ජනවාරි 23 – 31 – දෙවැනි ටෙස්ට් තරගය හරාරේදී

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.