ඇඹුල්දෙණියගේ පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ පළමු ඉනිම ලකුණු 358 න් නවතී

සිම්බාබ්වේ පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් ලසිත් ඇඹුල්දෙණියගේ ස්ථාවර පන්දු යැවීම හේතුවෙන් හරාරේ නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයන් ලකුණු 358කට සීමා කිරීමට ශ්‍රී ලංකාව  අද ( 20 ) සමත් විය.

                                        ක්‍රේග් අර්වින් ( ලකුණු 85 )

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය වන අද දිනට තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලබා සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තවත් කඩුලු 9ක් ඇතැතිව සිම්බාබ්වේ පළමු ඉනිමට වඩා ලකුණු 316ක් පිටුපසින් පසුවෙයි.

පන්දුවට පහර දෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න ( නොදැවී 12 ) සහ කුසල් මෙන්ඩිස් ( නොදැවී 06 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

තරගයේ දෙවැනි දිනයේ නිමා වීමට හෝරාවක් පමණ තිබියදී පන්දුවට පහර දීමට පිටියට පිවිසි නායක දිමුත් කරුණාරත්න සහ ඕෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 32ක සබඳතාවයක් ගොඩ නගමින් සිටියදී ඩොනල්ඩ් ටිරිපනෝගේ පන්දුවක් හමුවේ ඕෂධ ප්‍රනාන්දු පිටියෙන් ඉවත් විය. එහිදී පන්දු 41කට මුහුණ දුන් ඕෂධ ප්‍රනාන්දුගේ ඉනිම ලකුණු 21කට සීමා විය.

<< DAY 01 කසූසා සහ ප්‍රින්ස් මංගල අර්ධ ශතක රැස් කරද්දී, පළමු දිනයේ වැඩි වාසිය සිම්බාබ්වේ වෙතට >> 

තරගයේ පළමු දිනය වූ ඊයේ ( 19 ) කඩුලු 2කට ලකුණු 189ක් ලබා සිටි සිම්බාබ්වේ පිතිකරුවන්ට අද දිනයේදී කඩුලු 8ක් තුළදී ලබාගත හැකි වූයේ ලකුණු 160ක් පමණි. පළමු දිනට තරගය නතර කරන විට ලකුණු 55ක් ලබා සිටි ක්‍රේග් අර්වින් සිය ඉනිමට තවත් ලකුණු 30ක් එකතු කර ගනිමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටත රැගෙන යාමට අඩිතාලම දමාදුන්නේය. සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ එර්වින් පිටියෙන් ඉවත්ව යනවිට පන්දු 187කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 85ක් ලබා ගැනීමට සමත් විය. ප්‍රින්ස් මසාවුරේ කෙවින් කසූසා සහ ක්‍රේගෙ අර්වින් ගොඩ නැගූ සිම්බාබ්වේ ඉනිමට ජීවයක් එක්කළ සිකන්ද රාසා ( ලකුණු 41 ) සහ ඩොනල්ඩ් ටිරිපනෝ ( නොදැවී 44 ) ලබා ගනිමින් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නැගීමට දායකත්වය ලබා දුන්හ.

පන්දු යැවීමේදී ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 114කට කඩුලු 5ක් බිද හෙලද්දී, සුරංග ලක්මාල් ලකුණු 53කට කඩුලු 3ක් සහ ළහිරු කුමාර ලකුණු 82කට කඩුලු 2 බැගින් බිද හෙලිමට සමත් වූහ.

හෙට ( 21 )  තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 14කදී එක් කඩුල්ලකට ලකුණු 42

( ඕෂධ ප්‍රනාන්දු 21, දිමුත් කරුණාරත්න නොදැවී 12, කුසල් මෙන්ඩිස් නොදැවී 06 )

සිම්බාබ්වේ පළමු ඉනිම – පන්දුවාර 148කදී සියලු දෙනාදැවී ලකුණු 358

( ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රේග් අර්වින් 85, සිකන්ද රාසා 41, ඩොනල්ඩ් ටිරිපනෝ නොදැවී 44, ලසිත් ඇඹුල්දෙණිය 114/5, සුරංග ලක්මාල් 53/3, ළහිරු කුමාර 82/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.