වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ “ ඒ “ කාණ්ඩයේ තරගයක් ලෙස පැවති ශ්‍රී ලංකාව සහ ජපානය අතර තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද ( 25 ) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 44 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 8.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන් ජය ගත්තේය.
රවිඳු රසන්ත නොදැවී ලකුණු 19 සහ මොහොමඩ් ශමාස් නොදැවී ලකුණු 7 බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රණය තහවුරු කළහ.
කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය පළමුවෙන් පන්දුවට පහර දීමට ජපානයට ආරාධනා කරසිටි අතර ඒ අනුව තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග එක් ඉනිමක් පන්දුවාර 22කට සීමා කිරීමට තරග තීරකවරු තීරණය කළහ. ඒ අනුව ඉනිම ඇරඹූ ජපන් යොවුන් කණ්ඩායමට පන්දුවාර 18.3කදී සියලුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 43ක් පමණි.
පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංක, සුදීර තිලකරත්න, අශේන් ඩැනියෙල් සහ නවෝද් පරණවිතාන අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 3න් මෙම තරගය පමණක් ජය ගැනීම හේතුවෙන් මෙවර සුපිරි කණ්ඩායම් 8 දෙනාගේ වටයෙන් ඉවත් වීමට සිදුවිය. ඒ අනුව පළග ශූරතාව වෙනුවෙන් පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේදී ශ්‍රි ලංකාව සහ නයිජීරියාව නැවතත් තරග වැදීමට නියමිතය.
Be the first to comment