පනස්දාහකට එකවර තරග නැරඹිය හැකි ක්‍රීඩාංගණයක්

කොළඹ ප්‍රදේශයට අත්‍යවශ්‍යව පවතින සියලු පහසුකම් සහිත ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක අඩුපාඩුව වත්මන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට දියගම පිහිටා ඇති මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය පිහිටා ඇති භූමි භාගයේ ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන රවීන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාදුක්කේ පිහිටා ඇති ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල භූමියේ ඉදි කිරීමට බලාපොරොත්තු වන ජාතික මට්ටමේ ක්‍රීඩාංගණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී වික්‍රමරත්න මහතා ඉහත අදහස් පළ කර සිටියේය. එසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත ක්‍රීඩාංගණය, අනාගතයේදී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කරළීමේ බලාපොරොත්තුවක් පවතින්නේද යන්න මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී ඒ මහතා මේ පිළිබඳව කරුණු හෙළි කර සිටියේය.

රජයට අයත් දියගම ප්‍රදේශයේ අක්කර ගණනක ඉදිකොට තිබෙන මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට අයත් අක්කර 18 ක භූමි භාගයක් ඒ වෙනුවෙන් වෙන්කොට අවසන්ව තිබෙන බව සඳහන් කර සිටි උප සභාපතිවරයා ඒ පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවේ සහාය අපේක්ෂා කරන බවද සඳහන් කර සිටියේය.

“මේ ඉදිකරන්න යන ක්‍රීඩාංගණය ජාතික මට්ටමට සරිලන පහසුකම් සහිත ක්‍රීඩාංගණයක්. ඒකෙන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් කියන එක අදහස් වෙන්නේ නෑ. අන්තර්ජාතික ක්‍රීඩාංගණයක් නම් අවම වශයෙන් අක්කර 17 ක් 18 ක් වත් භූමි ප්‍රමාණයක් තියෙන්න ඕන” යි පවසන උප සභාපතිවරයා,  “දිවා/රාත්‍රී තරග පැවැත්වීම සඳහා අපිට කොළඹ තියෙන්නෙ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පමණයි. අපිට විදුලි ආලෝකය භාවිතයෙන් තරග පැවැත්වීම සඳහා පහසුකම් සහිත තවත් ක්‍රීඩාංගණයක අවශ්‍යතාවය පවතිනවා. විශේෂයෙන්ම කොළඹ අවටින්. මං හිතන්නේ ඒ සඳහා තියෙන හොඳම භූමිය තැන තමයි දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයට වෙන් කරලා තියෙන භූමි ප්‍රමාණය”යි වැඩිදුරටතු කරුණු දැක්වීය.

“එතැනදී අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව සමඟ සම්බන්ධ වෙලා මේ කටයුතු ලෑස්ති කරන්න. ඒ ක්‍රීඩාංගණය සඳහා සියළුම පහසුකම් අපි ඇතුළත් කරනවා. විශේෂයෙන් තරග නැරඹීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සපයා දෙන්න”යි වික්‍රමරත්න මහතා කරුණු දැක්වීය.

අදියර 3 ක් යටතේ තාක්ෂණික විශ්වවිද්‍යාල භූමියේදී ඉදිකිරීමට නියමිතව තිබෙන ජාතික තලයේ ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු ලබන පෙබරවාරි 09 වැනිදා තොරතුරු සහ ජනමාධ්‍ය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය ආචර්යය බන්දුල ගුණවර්ධන සහ අධ්‍යාපන, ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර මේ වැඩපිළිවෙළ සම්බන්ධතව වැඩිදුරටත් කරුණු පැහැදිළි කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවර්ධන අංශයේ ප්‍රධානී කමල් ධර්මසිරි මහතා පවසා සිටියේ ආර්. ප්‍රේමද්ස ක්‍රීඩාංගණයේ එකවර තරග නැරඹීම සඳහා අවස්ථාව උදාවන්නේ විසි අටදහසකට ආසන්න (28,000) ප්‍රේක්ෂක සංඛ්‍යාවක් වන නමුත් දියගම ඉදි කිරීමට නියමිත ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයින් 50,000 කට තරග නැරඹීමට හැකි වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් කර සිටියේය.

“ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අපිට ප්‍රේක්ෂකයින් ඇතුළු කරන්න පුලුවන් 28,000 ක් පමණ. නමුත් හොඳ තරග පැවැත්වෙන කොට ඒ වගේම සෙනගක් ඉන්නවා එළියේ ටිකට් ගන්න. උප සභාපතිතුමා කිව්වා වගේ කොළඹ තරගයක් පැවැත්වෙනකොට ප්‍රේක්ෂක අවශ්‍යතාවය ඉතාමත් ඉහළයි. ඒකනිසා තමයි අපි දියගම ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 50,000 කට තරගය නරඹන්න පුලුවන් විදියට ඉදිකරන්න සැලසුම් කරලා තියෙන්නේ. මේ වන විට ඒ භූමියේ අක්කර 30 ක පමණ ප්‍රමාණයක් අපිට හිමිව තිබෙනවා. ඒක තමයි අපි ජාත්‍යන්තර මට්ටමට රැගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ”යි වැඩිදුරත් කරුණු පැහැදිළි කර සිටියේය.

මෙම මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න සහ සංවර්ධන අංශ ප්‍රධාන කමල් ධර්මසිරි මහත්වරුන්ට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් තාක්ෂණික විශ්වවිද්‍යායේ මෙහෙයුම් අධ්‍යක්ෂක රංජිත් ගුණවර්ධන සහ එම ආයතනයේ උපදේශක මංජු ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

srilanka cricket

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.