ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක වජිර රණවීර මහතා පසුගියදා (28) අප අතුරින් සමුගත් බැව් ඉතා සංවේගයෙන් යුතුය දැනුම් දෙනු ලැබේ.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෙක් වන වජිර රණවීර ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසින් කරලියට පිවිසෙන්නේ පොලිස් සේවයට එක් වූ පසුව ය. 1995/96 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එක්වන වජිර රණවීර 2007 වසර දක්වා ම පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නා ලෙසින් කටයුතු කළේය. ඒ අතර 2004/05 වසරේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉසිළුවේ ද වජිර රණවීරය.
වරෙක, වේග පන්දු යවන්නෙක් ලෙසින් ඩෙනිස් ලිලී මහතා යටතේ ඉන්දියාවේ MRF ක්‍රිකට් ඇකඩමියේ පුහුණුව සඳහා වජිර රණවීර සුදුසුකම් ලබා සිටිය ද කුමන හෝ හේතුවක් මත ඒ සඳහා සහභාගී වීමට ඔහුට අවස්ථාව නොලැබී ගියේය. එමෙන් ම 1997/98 වසරේ මෙරට සංචාරයක යෙදුන නවසීලන්ත කණ්ඩායමට එරෙහි අස්ගිරියේ පැවැති පුහුණු තුන් දින තරගය සඳහා වජිර රණවීරට කැදවීම් ලැබුණ ද ඔහුට එය අහිමි වන්නේ ඊට පෙර පැවැති පොලිස් තරගයක දී ලත් ආබාධිත තත්ත්වයක් මතය. එවකට දක්ෂතා අතර සුපිරි මට්ටමේ සිටි වජිර රණවීර මේ තරගයට ක්‍රීඩා කළේ නම් ඇතැම් විට පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ද නියොජනය කළ අතලොස්සක් වූ පොලිස් ක්‍රීඩකයන් අතරට එක්වීමට ද වාසනාවන්ත වීමට ඉඩ තිබුණි.
පොලිස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් පළමු පෙළ ක්‍රිකට් තරග 96කට ක්‍රීඩා කළ වජිර රණවීර කඩුලු 225ක් ලබා ගෙන ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීම වන්නේ එස්. එස්. සී. ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 95කට ලබාගත් කඩුලු 8යි. එමෙන් ම වරෙක ඔහු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 06කට ඉදිරිපෙළ කඩුලු 7ක් දවාගෙන දක්ෂතා දැක්වීමට සමත් වීම ද ඔහුගේ ක්‍රිකට් දිවියේ සුවිශේෂී මතකයක් අතර වේ.
රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ පොලිස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක් වූ වජිර රණවීර අවස්ථා ගණනාවකදීම තරගාවලියේ හොඳම පන්දු යවන්නා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසුව වජිර රණවීර ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු සංගමයේ විනිසුරුවෙක් ලෙසින් සුදුසුකම් ලැබූව ද පොලිස් සේවය වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට සිදුවීම නිසා ඔහුගේ ක්‍රිකට් විනිසුරු දිවිය ඉතා කෙටි විය.
මිය යන විට 52 හැවිරිදි වියේ පසු වූ වජිර රණවීර මහතා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ලෙසින් බම්බලපිටිය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ කැරලි මර්ධන අංශයේ ස්ථානාධිපති ලෙසින් සේවය කළේය. මේ දිනවල රටේ පවතින COVID 19 වෛරසයෙන් රට ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත විම ඔහුගේ අවසන් සේවාව විය.
ඔහුගේ අවසන් කටයුතු 29දා සවස 4.00ට පොල්ගස්ඕවිට, වෑතර පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණි.
Be the first to comment