භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹයත් ( 77 ) වනිදු හසරංගගේ සහ නුවන් ප්‍රදීප්ගේ විශිෂ්ඨ පන්දු යැවීමත් හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති දෙවැනි විස්සයි 20 තරගයෙන් ලකුණු 36 ක ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද ( 07 ) සමත් විය. ඒ අනුව තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 – 0 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණ.
ජයග්‍රහණය සඳහා ලකුණු 183ක ඉලක්කය හඹාගිය සත්කාරක පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 147ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන ක්‍රීඩකයන් 10 දෙනෙකුම පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීමත් සමග යොවුන් කණ්ඩායමක් සමගින් එක්ව කණ්ඩායමේ වගකීම භාරගත් දසුන් ශානක ඔහු සහභාගී පළමු තරගාවලියම තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට නව බලාපොරොත්තුවක් ගෙන දෙමිනි.
පළමු තරගයේදී මෙන්ම නැවතත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ හමුවේ අසරණ වූ පාකිස්තාන මුල්පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 52ක් තුළ නැවතත් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට වනිදු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ
කඩා වැටුණු පාකිස්තාන ඉනිම ගොඩ නැගූ ඉමාඩ් වසීම් සහ අසීෆ් අලී 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 75 ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් වුවද, ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ ඉමාඩ් වසීම් දැවී යාමත් සමග පාකිස්තාන කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද ගිලිහි ගියේය. වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ ඉමාඩ් වසීම් පන්දු 29කදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය. ඔහු හා අනෙත් අන්තයේ රැදී සිටි අසීෆ් අලී පන්දු 27කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 29ක්රැස් කිරීමට සමත් විය.
පළමු තරගයේදී මෙන්ම මෙම තරගයේදී ද යළිත් අසාර්ථක වූ උමාර් අක්මාල් ඔහු සහභාගී වූ පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් විමට සිදුවූයේ පාකිස්තාන තේරීම් කමිටුව හමුවේ යළිත් ප්‍රශ්නාර්තයක් ගෙන දෙමිනි. පළමු තරගයේදී ස්තායක් හිමි නොවූ ෆකාර් සමාන්ට ද රැස්කර ගතහැකි වූ යේ ලකුණු 6ක් පමණි.
පාකිස්තාන පිතිකරුවන් සම්පූර්ණයෙන්ම අඩපණ කළ නුවන් ප්‍රදීප් ලකුණු 25කට කඩුලු 4ක් සහ වනිදු හසරංග ලකුණු 38කට කඩුලු 3 බැගින්වි බිද හෙලූහ.
කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 182ක් රැස් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ භානුක රාජපක්ෂ තම ක්‍රිකට් දිවියේ මංගල විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 48කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමගින් ලකුණු 77ක් රැස් කිරීමට සමත් විය.
ඔහුට අනගි සහයක් ලබාදුන් ෂෙහාන් ජයසූරිය පන්දු 28කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 34ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළට ඔසවා තබමිනි.
අවසන් පන්දුවාර කිහිපය තුළදී පිටියට පිවිසි නායක දසුන් ශානක තමන්ගේ වගකීම උපරිමයෙන් ඉටු කරමින් පන්දු 15කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 180 සීමාවෙන් එපිටතට ගෙන යමිනි.
පන්දු යැවීමේදී ඉමාඩ් වසීම්, වහබ් රියාස්, ශඩාබ් ඛාන් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.
ශ්‍රී ලංකා කණ්ඩායම – නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 කට ලකුණු 182
( ධනුෂ්ක ගුණතිලක 15, භානුක රාජපක්ෂ 77, ෂෙහාන් ජයසූරිය 34, දසුන් ශානක නොදැවී 27 )
පාකිස්තාන කණ්ඩායම – පන්දුවාර 19කදී සියලු දෙනාදැවී ලකුණු 147
( අහමඩ් ශෙෂාඩ් 13, සෆ්රාස් අහමඩ් 26, ඉමාඩ් වසීම් 47, අසිෆ් අලී 29, නුවන් ප්‍රදිප් 25/4, වනිදු හසරංග 38/3, ඉසුරු උදාන 38/2 )
Be the first to comment